සංයුත්ත නිකාය

මහා වග්ගෝ

10.1.8. දීප සුත්තං

10.1.8. තෙල් පහන උපමාවට ගෙන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය. …………

මහණෙනි, ආනාපානසති සමාධිය වඩන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ, මහත්ඵල මහානිශංස වෙයි.

මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසති සමාධිය මහත්ඵල, මහානිශංස වෙයි ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයට ගියේ හෝ රුක්සෙවණට ගියේ හෝ ….(පෙ)…. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි.

මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසති සමාධිය මහත්ඵල, මහානිශංස වෙයි.

මහණෙනි, මම ත් සම්බුද්ධත්වයට පූර්වයෙහි දී අභිසම්බෝධියට නොපත් ව සිටිය දී බෝධිසත්ව වූයේ ම මේ විහරණයෙන් බහුලව වාසය කරමි. මහණෙනි, මේ විහරණයෙන් බහුලව වාසය කරන ඒ මාගේ කය ක්ලාන්ත නොවූයේ ය. ඇස් ද ක්ලාන්ත නොවූයේ ය. කිසිවක් උපාදාන නොකොට මාගේ සිත ආශ්‍රවයන්ගෙන් ද නිදහස් වූයේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘මාගේ කය ක්ලාන්ත නොවන්නේ නම් මැනැවි. ඇස් ද ක්ලාන්ත නොවන්නේ නම් මැනැවි. මාගේ සිත කිසිවක් උපාදාන නොකොට ආශ්‍රවයන්ගෙන් ද නිදහස් වන්නේ නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘මාගේ යම් පංච කාම ආශ්‍රිත විතර්කයෝ වෙත් ද, ඒවා ප්‍රහීණ වෙත් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘නොපිළිකුල් දෙයෙහි පිළිකුල් සංඥාවෙන් වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘පිළිකුල් දෙයෙහි නොපිළිකුල් සංඥාවෙන් වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘නොපිළිකුල් දෙයෙහි ත්, පිළිකුල් දෙයෙහි ත් පිළිකුල් සංඥාවෙන් වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘නොපිළිකුල් දෙයෙහි ත්, පිළිකුල් දෙයෙහි ත් නොපිළිකුල් සංඥාවෙන් වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘පිළිකුල ත්, නොපිළිකුල ත් යන දෙක ම බැහැර කොට සිහියෙන් හා නුවණින් යුක්ත ව උපේක්ෂාවෙන් වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති, විතර්ක සහිත විචාර සහිත පළමු ධ්‍යානය උපදවාගෙන වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, තමා තුළ පැහැදීම ඇති, සිතෙහි එකඟ බව ඇති, විතර්ක රහිත, විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘ප්‍රීතියට ද නොඇල්මෙන් උපේක්ෂාවෙන් වාසය කරන්නෙම් නම් මැනැවි. සිහියෙන් ද, නුවණින් ද යුතු ව කයින් සැපයකුත් විඳින්නෙම් නම් මැනැවි. ආර්යයෝ ‘උපේක්ෂාවෙන් යුතු සිහියෙන් සැප සේ වාසය කිරීම’ යැයි යමකට කියත් ද ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන්, කලින් ම සොම්නස් දොම්නස් නැති කිරීමෙන්, දුක් සැප රහිත වූ පිරිසිදු උපේක්ෂා සතිය ඇති සිව්වෙනි ධ්‍යානය උපදවාගෙන වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘සියළු අයුරින් රූප සංඥා ඉක්ම යෑමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන්, නා නා සංඥාවන් නොමෙනෙහි කිරීමෙන්, අනන්ත වූ ආකාසය යැයි ආකාසානඤ්චායතනය උපදවාගෙන වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්ම යෑමෙන්, අනන්ත වූ විඤ්ඤාණය යැයි විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම යෑමෙන් කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මයෑමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවාගෙන වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

එහෙයින් මහණෙනි, භික්ෂුව ත් ‘සියළු අයුරින් නේවසඤ්ඤානා සඤ්ඤායතනය ඉක්ම යෑමෙන් සංඥාවේදයිත නිරෝධය උපදවාගෙන වසන්නෙම් නම් මැනැවි’ යි කැමති වන්නේ නම්, මේ ආනාපානසති සමාධිය ම ඉතා මැනැවින් මෙනෙහි කළ යුත්තේ ය.

මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසති සමාධිය ඇති කල්හී ඉදින් සැප වේදනාවක් විඳියි නම්, එය අනිත්‍යය යැයි දැනගනියි. එහි සිත නොබැස ගන්නේ යැයි දැනගනියි. එය කෙලෙස් සහිත ව නොපිළිගන්නේ යැයි දැනගනියි. ඉදින් දුක් වේදනාවක් විඳියි නම්, එය අනිත්‍යය යැයි දැනගනියි. එහි සිත නොබැස ගන්නේ යැයි දැනගනියි. එය කෙලෙස් සහිත ව නොපිළිගන්නේ යැයි දැනගනියි. ඉදින් දුක් සැප රහිත වේදනාවක් විඳියි නම්, එය අනිත්‍යය යැයි දැනගනියි. එහි සිත නොබැස ගන්නේ යැයි දැනගනියි. එය කෙලෙස් සහිත ව නොපිළිගන්නේ යැයි දැනගනියි.

ඉදින් ඔහු සැප වේදනාවක් විඳියි නම්, කෙලෙස් හා එක් නොවී එය විඳියි. ඉදින් දුක් වේදනාවක් විඳියි නම්, කෙලෙස් හා එක් නොවී එය විඳියි. ඉදින් දුක් සැප රහිත වේදනාවක් විඳියි නම්, කෙලෙස් හා එක් නොවී එය විඳියි. ඔහු කය අවසන් වන තෙක් පමණක් ඇති වේදනාවක් විඳින කල්හී කය අවසන් වන තෙක් ඇති වේදනාවක් විඳිමි යි දැනගනියි. ජීවිතය අවසන් වන තෙක් ඇති වේදනාවක් විඳින විට ජීවිතය අවසන් වන තෙක් ඇති වේදනාවක් විඳින බව දැනගනියි. කය බිඳී යෑමෙන් පසු, ජීවිතය අවසන් වීමෙන් පසු, විඳින්නා වූ සියල්ල නොපිළිගත් බැවින් මෙහිදී ම සිහිල් වී යන්නේ යැයි දැනගනියි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. තෙල ත් නිසා, වැටි ත් නිසා තෙල් පහනක් දැල්වෙයි නම්, ඒ තෙලේ ත්, වැටියේ ත් අවසන් වීමෙන්, ආහාර නැති වීමෙන් නිවී යන්නේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, භික්ෂුව කය අවසන් වන තෙක් පමණක් ඇති වේදනාවක් විඳින කල්හී කය අවසන් වන තෙක් පමණක් ඇති වේදනාවක් විඳිමි යි දැනගනියි. ජීවිතය අවසන් වන තෙක් පමණක් ඇති වේදනාවක් විඳින විට ජීවිතය අවසන් වන තෙක් පමණක් ඇති වේදනාවක් විඳින බව දැනගනියි. කය බිඳී යෑමෙන් පසු, ජීවිතය අවසන් වීමෙන් පසු, විඳින්නා වූ සියල්ල නොපිළිගත් බැවින් මෙහිදී ම සිහිල් වී යන්නේ යැයි දැනගනියි.

සාදු! සාදු!! සාදු!!!

දීප සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M