සංයුත්ත නිකාය

මහා වග්ගෝ

10.1.1. ඒකධම්ම සුත්තං

10.1.1. එක් ධර්මයක් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය. …………

මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ, මහත්ඵල මහානිශංස වෙයි. ඒ කවර එක් ධර්මයක් ද යත්, ආනාපානසතිය යි.

මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසතිය මහත්ඵල, මහානිශංස වෙයි ද?

මහණෙනි, මෙහි භික්ෂුව අරණ්‍යයකට ගියේ වේවා, රුක් සෙවණකට ගියේ වේවා, ශූන්‍යාගාරයකට ගියේ වේවා, පළඟක් බැඳ, උඩු කය ඍජු කොට, මුහුණ ඉදිරියෙහි සිහිය පිහිටුවා වාඩි වෙයි. ඔහු සිහියෙන් ම හුස්ම ගනියි. සිහියෙන් ම හුස්ම හෙලයි.

දිගු ලෙස හෝ හුස්ම ගන්නා විට ‘දිගු ලෙස හුස්ම ගනිමි’ යි දැනගනියි. දිගු ලෙස හෝ හුස්ම හෙලන විට ‘දිගු ලෙස හුස්ම හෙලමි’ යි දැනගනියි. කෙටි ලෙස හෝ හුස්ම ගන්නා විට ‘කෙටියෙන් හුස්ම ගනිමි’ යි දැනගනියි. කෙටි ලෙස හෝ හුස්ම හෙලන විට ‘කෙටියෙන් හුස්ම හෙලමි’ යි දැනගනියි. ‘සියළු ආශ්වාස කයට සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි’ යි පුහුණු වෙයි. ‘සියළු ප්‍රශ්වාස කයට සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි’ යි පුහුණු වෙයි. ‘කාය සංස්කාර නම් වූ ආශ්වාසය සංසිඳුවමින් හුස්ම ගන්නෙමි’ යි පුහුණු වෙයි. ‘කාය සංස්කාර නම් වූ ප්‍රශ්වාසය සංසිඳුවමින් හුස්ම හෙලන්නෙමි’ යි පුහුණු වෙයි.

ප්‍රීතියට සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. ප්‍රීතියට සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි. සැපයට සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. සැපයට සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි. සංඥා වේදනා යන චිත්ත සංස්කාරයන්ට සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. සංඥා වේදනා යන චිත්ත සංස්කාරයන්ට සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි. චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. චිත්ත සංස්කාරයන් සංසිඳුවමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි.

සිත හා සංවේදී වෙමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. සිත හා සංවේදී වෙමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි. සිත ප්‍රමුදිත කරවමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. සිත ප්‍රමුදිත කරවමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි. සිත තැන්පත් කරවමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. සිත තැන්පත් කරවමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි. නීවරණයන්ගෙන් සිත මුදවමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. නීවරණයන්ගෙන් සිත මුදවමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි.

අනිත්‍ය අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. අනිත්‍ය අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි. නොඇල්ම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. නොඇල්ම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි. ඇල්ම නිරුද්ධ වීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. ඇල්ම නිරුද්ධ වීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි.

මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද ආනාපානසතිය මහත්ඵල මහානිශංස වෙයි.

සාදු! සාදු!! සාදු!!!

ඒකධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M