සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.3.10. උත්තිය සුත්තං

1.3.10. උත්තිය තෙරුන්ට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

එකල්හී ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, මෙහි හුදෙකලාවෙහි බවුන් වඩමින් සිටි මා හට මෙබඳු චිත්ත පරිවිතර්කයක් ඇතිවූයේ ය. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් පංච කාම ගුණයෝ වදාරණ ලද්දාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ඒ පංච කාම ගුණයෝ මොනවා ද යන්න’ යි.”

“උත්තිය, යහපති, යහපති. උත්තිය, මා විසින් මේ පංච කාම ගුණයෝ පවසන ලද්දාහු ය. ඒ කවර පසක් ද යත්; ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත වූ, කෙලෙස් උපදවන සුළු වූ ඇසින් දැක්ක යුතු රූපයෝ ය. ….(පෙ)…. කනින් ඇසිය යුතු ශබ්දයෝ ය. ….(පෙ)…. නාසයෙන් දත යුතු ගන්ධයෝ ය. ….(පෙ)…. දිවෙන් දත යුතු රසයෝ ය. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත වූ, කෙලෙස් උපදවන සුළු වූ කයින් දත යුතු ස්පර්ශයෝ ය. උත්තිය, මේ වනාහී මා විසින් පවසන ලද පංච කාම ගුණයෝ ය.

උත්තිය, මේ පංච කාම ගුණයන්ගේ ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ය. ඒ කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්; එනම් සම්මා දිට්ඨිය ….(පෙ)…. සම්මා සමාධිය යි. උත්තිය, මේ පංච කාම ගුණයන්ගේ ප්‍රහාණය පිණිස වැඩිය යුත්තේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.”

සාදු! සාදු!! සාදු!!!

උත්තිය සූත්‍රය නිමා විය.

තුන්වෙනි මිච්ඡත්ත වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

මිච්ඡත්ත සූත්‍රය, අකුසලධම්ම සූත්‍රය, පටිපදා සූත්‍ර දෙක, අසප්පුරිස සූත්‍ර දෙක, කුම්භ සූත්‍රය, සමාධි සූත්‍රය, වේදනා සූත්‍රය සහ උත්තිය සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M