සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.14.29.-32. මේඝ සූත්‍රයෝ

1.14.29.-32. වැස්ස ගැන වදාළ දෙසුම්

මහණෙනි, යම් සේ පායන කාලයෙහි අවසාන මාසයෙහි උඩට නැගුණු දුහුවිලි දුමාරය මහා අකල් වැස්සෙන් සැණෙකින් නොපෙනී යයි ද, සංසිඳෙයි ද, එසෙයින් ම මහණෙනි, භික්ෂුවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ, උපනූපන් පාපී අකුසල ධර්මයන් සැණෙකින් අතුරුදහන් කරයි. සංසිඳුවයි.

මහණෙනි, භික්ෂුවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙසේ වඩද්දී ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙසේ බහුල කරද්දී ද, උපනූපන් පාපී අකුසල දහම් සැණෙකින් අතුරුදහන් කරන්නේ? සංසිඳුවන්නේ?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.

මහණෙනි, භික්ෂුවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙසේ වඩද්දී ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙසේ බහුල කරද්දී ය, උපනූපන් පාපී අකුසල දහම් සැණෙකින් අතුරුදහන් කරන්නේ, සංසිඳුවන්නේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-14-29/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M