සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

6.1.1. සවිතක්ක සුත්තං

6.1.1. විතර්ක සහිත සමාධිය ගැන වදාළ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් “ප්‍රිය ආයුෂ්මත් මහණෙනි,” කියා භික්‍ෂූන් අමතා වදාළා. ඒ භික්‍ෂූන් ද “ප්‍රිය ආයුෂ්මතුන් වහන්සැ”යි කියා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන්ට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ මෙය වදාළා. ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මං අප්‍රකට තැනක හුදෙකලාවේ භාවනාවෙන් සිටිද්දී මෙවැනි කල්පනාවක් ඇති වුණා. පළවෙනි ධ්‍යානය, පළවෙනි ධ්‍යානය කියලා කියනවා. පළවෙනි ධ්‍යානය යනු කුමක්ද? එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ අදහස ඇති වුණා. මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසල් වලින් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. මේකට තමයි ප්‍රථම ධ්‍යානය කියන්නේ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ මමත් කාමයන්ගෙන් වෙන්ව, අකුසල් වලින් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, මට මේ විහරණයෙන් වාසය කරද්දී කාම සහගත සඤ්ඤා මනසිකාරයන් ඇති වෙනවා.

එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධි බලයෙන් මා වෙත වැඩම කරලා මෙකරුණ වදාළා. “පින්වත් මොග්ගල්ලාන, පින්වත් මොග්ගල්ලාන, පින්වත් බ්‍රාහ්මණය, පළවෙනි ධ්‍යානය ප්‍රමාද කරගන්ට එපා. පළවෙනි ධ්‍යානය තුළ සිත පිහිටුවා ගන්න. පළවෙනි ධ්‍යානය තුළ සිත එකඟ කරන්න. පළවෙනි ධ්‍යානය තුළ සිත තැන්පත් කරන්න” කියලා. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, මං පස්සෙ කාලෙක කාමයන්ගෙන් වෙන්ව, අකුසල් වලින් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කළා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කෙනෙක් සඳහා මනාකොට කියද්දී “ශාස්තෘන් වහන්සේගෙන් අනුග්‍රහය ලැබූ ශ්‍රාවකයා මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා කියනවා නම් “ශාස්තෘන් වහන්සේගෙන් අනුග්‍රහය ලැබූ ශ්‍රාවකයා මහා අභිඤ්ඤා සහිත බවට පත්වුණා” කියලා මනාකොට කියන්නේ මා ගැනයි.

සාදු ! සාදු !! සාදු !!!

සවිතක්ක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_6-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M