සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

4.1.1. නිබ්බාන සුත්තං

4.1.1. නිවන ගැන වදාළ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටියේ මගධ ජනපදයේ නාල නම් ගමේ. එදා ජම්බුඛාදක පිරිවැජියා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටි තැනට ආවා. ඇවිදින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කථාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ජම්බුඛාදක පිරිවැජියා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, නිවන, නිවන කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි, නිවන කියලා කියන්නේ කුමක්ද?”

“ආයුෂ්මත, යම් රාගය ක්‍ෂය වීමක්, ද්වේෂය ක්‍ෂය වීමක්, මෝහය ක්‍ෂය වීමක් ඇද්ද නිවන කියන්නේ මෙයටයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය නිවන සාක්‍ෂාත් කිරීම පිණිස වැඩපිළිවෙලක් තියෙනවාද? මාර්ගයක් තියෙනවාද?” “ආයුෂ්මත, මේ නිවන සාක්‍ෂාත් කිරීම පිණිස වැඩපිළිවෙළක් තියෙනවා. මාර්ගයකුත් තියෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය නිවන සාක්‍ෂාත් කිරීම පිණිස පවතින වැඩපිළිවෙළ කුමක්ද? මාර්ගය කුමක්ද?” “ආයුෂ්මත, මේ නිවන සාක්‍ෂාත් කිරීම පිණිස පවතින්නේ ඒ මේ ආර්ය ආෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි. ආයුෂ්මත, මේ නිවන සාක්‍ෂාත් කිරීම පිණිස තිබෙන්නේ ඔය මාර්ගය තමයි. ඔය ප්‍රතිපදාව තමයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, මේ නිවන සාක්‍ෂාත් කිරීම පිණිස පවතින්නේ සොඳුරු මඟක් ම යි. සොඳුරු ප්‍රතිපදාවක් ම යි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අප්‍රමාදී වීමට ම යි සුදුසු.”

සාදු ! සාදු !! සාදු !!!

නිබ්බාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M