සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

3.3.6. නාසිතබ්බ සුත්තං

3.3.6. නැසිය යුතු ස්ත්‍රිය ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, මේවා තමයි ස්ත්‍රියට ඇති බල පහ. කවර පහක් ද යත්? රූප බලය. භෝග සම්පත් බලය. නෑදෑ බලය. පුත්‍ර බලය. සීල බලය. පින්වත් මහණෙනි, රූප බලයෙන් යුතු ස්ත්‍රිය සීල බලයෙන් තොර නම්, ඇය වනසනවා ම යි. පතිකුලයෙහි ඈ වසවන්නේ නෑ. පින්වත් මහණෙනි, රූප බලයෙන් යුතු, භෝග බලයෙන් යුතු නමුත් ස්ත්‍රිය සීල බලයෙන් තොර නම්, ඇය වනසනවා ම යි. පතිකුලයෙහි ඈ වසවන්නේ නෑ. පින්වත් මහණෙනි, රූප බලයෙන් යුතු, භෝග බලයෙන් යුතු, ඤාති බලයෙන් යුතු නමුත් ස්ත්‍රිය සීල බලයෙන් තොර නම්, ඇය වනසනවා ම යි. පතිකුලයෙහි ඈ වසවන්නේ නෑ. පින්වත් මහණෙනි, රූප බලයෙන් යුතු, භෝග බලයෙන් යුතු, ඤාති බලයෙන් යුතු, පුත්‍ර බලයෙන් යුතු නමුත් ස්ත්‍රිය සීල බලයෙන් තොර නම්, ඇය වනසනවා ම යි. පතිකුලයෙහි ඈ වසවන්නේ නෑ.

පින්වත් මහණෙනි, යම් කලෙක ස්ත්‍රිය රූප බලයෙනුත්, භෝග බලයෙනුත්, ඤාති බලයෙනුත්, පුත්‍ර බලයෙනුත්, සීල බලයෙනුත්, සමන්විත වෙනවා නම්, ඇය පතිකුලයෙහි වසවනවා ම යි. ඇය නසන්නේ නෑ. පින්වත් මහණෙනි, සීල බලයෙන් යුතු ස්ත්‍රිය රූප බලයෙන් තොර නමුත් ඇය පතිකුලයෙහි වසවනවා ම යි. ඇය නසන්නේ නෑ. පින්වත් මහණෙනි, සීල බලයෙන් යුතු ස්ත්‍රිය භෝග බලයෙන් තොර නමුත් ඇය පතිකුලයෙහි වසවනවා ම යි. ඇය නසන්නේ නෑ. පින්වත් මහණෙනි, සීල බලයෙන් යුතු ස්ත්‍රිය ඤාති බලයෙන් තොර නමුත් ඇය පතිකුලයෙහි වසවනවා ම යි. ඇය නසන්නේ නෑ. පින්වත් මහණෙනි, සීල බලයෙන් යුතු ස්ත්‍රිය පුත්‍ර බලයෙන් තොර නමුත් ඇය පතිකුලයෙහි වසවනවා ම යි. ඇය නසන්නේ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රියට ඇති බල පහ මේවාය.

සාදු ! සාදු !! සාදු !!!

නාසිතබ්බ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M