සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.1.8. දුතිය ගේලඤ්ඤ සුත්තං

2.1.8. ගිලන්හලේ දී වදාළ දෙවෙනි දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාවේ. එදා භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවේ භාවනාවෙන් නැගිට ගිලන්හල වෙත වැඩම කළා. වැඩම කරලා පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, සිහියෙන් යුතුව, නුවණින් යුතුව පිරිනිවන් පෑමටයි කල් බලා සිටිය යුත්තේ. ඔබට අපගේ අනුශාසනාව වන්නේ මෙයයි.”

පින්වත් මහණෙනි, භික්ෂුව සිහි ඇතිව ඉන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි විෂම ලෝභයත් දොම්නසත් දුරු කොට කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා. වේදනාවන් පිළිබඳව වේදනානුපස්සනා භාවනාවෙන් ….(පෙ)…. සිත පිළිබඳව චිත්තානුපස්සනා භාවනාවෙන් ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි විෂම ලෝභයත් දොම්නසත් දුරු කොට ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා. පින්වත් මහණෙනි, භික්ෂුව සිහියෙන් ඉන්නේ ඔය විදිහටයි.

පින්වත් මහණෙනි, භික්ෂුව මනා නුවණ ඇතුව ඉන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඉදිරියට ගමන් කරද්දී, ආපසු එද්දී ඉතාමත් කල්පනාකාරීව ඉන්නවා. ඉදිරිය බලද්දී, වට පිට බලද්දී ඉතාමත් කල්පනාකාරීව ඉන්නවා. අතපය දිගහරිද්දී, හකුලද්දී ඉතාමත් කල්පනාකාරීව ඉන්නවා. දෙපොට සිවුර, පාත්‍ර, චීවර දරද්දී ඉතාමත් කල්පනාකාරීව ඉන්නවා. වළඳද්දී, පානය කරද්දී, සපා වළඳද්දී, රස විඳිද්දී ඉතාමත් කල්පනාකාරීව ඉන්නවා. වැසිකිළි, කැසිකිළි කරද්දී ඉතාමත් කල්පනාකාරීව ඉන්නවා. ගමන් කරද්දී, හිටගෙන සිටිද්දී, වාඩි වී සිටිද්දී, සැතපෙද්දී, නිදිවරද්දී, කථාබස් කරද්දී, නිහඬව සිටිද්දී ඉතාමත් කල්පනාකාරීව ඉන්නවා. පින්වත් මහණෙනි, ඔය විදියටයි භික්ෂුව මනා නුවණ ඇතුව ඉන්නේ. “පින්වත් මහණෙනි, සිහියෙන් යුතුව, නුවණින් යුතුව පිරිනිවන් පෑමටයි කල්බලා සිටිය යුත්තේ. ඔබට අපගේ අනුශාසනාව වන්නේ මෙයයි.”

පින්වත් මහණෙනි, ඉදින් ඔය විදියට සිහිය ඇතුව, නුවණ ඇතුව, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන්නා වූ භික්ෂුවට සැප වේදනාවක් උපදිනවා. ඔහු මේ විදිහට යි දැන ගන්නේ. මා තුළ මෙන්න සැප විඳීමක් උපන්නා. එය වනාහී හේතූන් සහිතව ම යි උපන්නේ. හේතූන් රහිතව නොවේ. කුමක් හේතු කරගෙනද? මේ ස්පර්ශය ම හේතු කරගෙනයි. මේ ස්පර්ශය වනාහී අනිත්‍යයි. හේතුඵල දහමින් හට ගත් දෙයක්. පටිච්චසමුප්පාදයෙන් හට ගත් දෙයක්. අනිත්‍ය වූ, සංඛත වූ, පටිච්චසමුප්පන්න වූ ස්පර්ශයක් නිසා උපන්නා වූ සැප වේදනාව කොහොම නම් නිත්‍ය වන්ටද?

ඒ භික්ෂුව ස්පර්ශය පිළිබඳවත්, සැප විඳීම පිළිබඳවත්, අනිත්‍ය වශයෙන් බලමිනුයි වාසය කරන්නේ. නැතිවීම බලමිනුයි වාසය කරන්නේ. ඇල්ම දුරු වීම බලමිනුයි වාසය කරන්නේ. ඇල්ම නිරුද්ධ වීම බලමිනුයි වාසය කරන්නේ. ඇල්ම බැහැර වීම බලමිනුයි වාසය කරන්නේ. ස්පර්ශය ගැනත්, සැප වේදනාව ගැනත් අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරද්දී, නැතිවීම බලමින් වාසය කරද්දී, ඇල්ම දුරු වීම බලමින් වාසය කරද්දී, ඇල්ම නිරුද්ධ වීම බලමින් වාසය කරද්දී, ඇල්ම බැහැර වීම බලමින් වාසය කරද්දී, ඔහු තුළ ස්පර්ශය කෙරෙහිත්, සැප වේදනාව කෙරෙහිත් යම් රාගානුසයක් තිබුණා නම්, එය ප්‍රහාණය වෙලා යනවා.

පින්වත් මහණෙනි, ඉදින් ඔය විදියට සිහිය ඇතිව, නුවණ ඇතිව, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන්නා වූ භික්ෂුවට දුක් වේදනාවක් උපදිනවා. ඔහු මේ විදිහට යි දැන ගන්නේ. මා තුළ මෙන්න දුක් විඳීමක් උපන්නා. එය වනාහී හේතූන් සහිතව ම යි උපන්නේ. හේතූන් රහිතව නොවේ. කුමක් හේතු කරගෙනද? මේ ස්පර්ශය ම හේතු කරගෙනයි. මේ ස්පර්ශය වනාහී අනිත්‍යයි. හේතුඵල දහමින් හට ගත් දෙයක්. පටිච්චසමුප්පාදයෙන් හට ගත් දෙයක්. අනිත්‍ය වූ, සංඛත වූ, පටිච්චසමුප්පන්න වූ ස්පර්ශයක් නිසා උපන්නා වූ දුක් වේදනාව කොහොම නම් නිත්‍ය වන්ටද?

ඒ භික්ෂුව ස්පර්ශය පිළිබඳවත්, දුක් විඳීම පිළිබඳවත්, අනිත්‍ය වශයෙන් බලමිනුයි වාසය කරන්නේ. නැතිවීම බලමිනුයි වාසය කරන්නේ. ඇල්ම දුරු වීම බලමිනුයි වාසය කරන්නේ. ඇල්ම නිරුද්ධ වීම බලමිනුයි වාසය කරන්නේ. ඇල්ම බැහැර වීම බලමිනුයි වාසය කරන්නේ. ස්පර්ශය ගැනත්, දුක් වේදනාව ගැනත් අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරද්දී, නැතිවීම බලමින් වාසය කරද්දී, ඇල්ම දුරු වීම බලමින් වාසය කරද්දී, ඇල්ම නිරුද්ධ වීම බලමින් වාසය කරද්දී, ඇල්ම බැහැර වීම බලමින් වාසය කරද්දී, ඔහු තුළ ස්පර්ශය කෙරෙහිත්, දුක් වේදනාව කෙරෙහිත් යම් පටිඝානුසයක් තිබුණා නම්, එය ප්‍රහාණය වෙලා යනවා.

පින්වත් මහණෙනි, ඉදින් ඔය විදියට සිහිය ඇතිව, නුවණ ඇතිව, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරියෙන් යුතුව, දහමට දිවි පුදා වාසය කරන්නා වූ භික්ෂුවට දුක් සැප රහිත වේදනාවක් උපදිනවා. ඔහු මේ විදිහට යි දැන ගන්නේ. මා තුළ මෙන්න දුක් සැප රහිත විඳීමක් උපන්නා. එය වනාහී හේතූන් සහිතව ම යි උපන්නේ. හේතූන් රහිතව නොවේ. කුමක් හේතු කරගෙනද? මේ ස්පර්ශය ම හේතු කරගෙනයි. මේ ස්පර්ශය වනාහී අනිත්‍යයි. හේතුඵල දහමින් හට ගත් දෙයක්. පටිච්චසමුප්පාදයෙන් හට ගත් දෙයක්. අනිත්‍ය වූ, සංඛත වූ, පටිච්චසමුප්පන්න වූ, ස්පර්ශයක් නිසා උපන්නා වූ දුක් සැප රහිත වේදනාව කොහොම නම් නිත්‍ය වන්ටද?

ඒ භික්ෂුව ස්පර්ශය පිළිබඳවත්, දුක් සැප රහිත විඳීම පිළිබඳවත්, අනිත්‍ය වශයෙන් බලමිනුයි වාසය කරන්නේ. නැතිවීම බලමිනුයි වාසය කරන්නේ. ඇල්ම දුරු වීම බලමිනුයි වාසය කරන්නේ. ඇල්ම නිරුද්ධ වීම බලමිනුයි වාසය කරන්නේ. ඇල්ම බැහැර වීම බලමිනුයි වාසය කරන්නේ. ස්පර්ශය ගැනත්, දුක් සැප රහිත වේදනාව ගැනත් අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරද්දී, නැතිවීම බලමින් වාසය කරද්දී, ඇල්ම දුරු වීම බලමින් වාසය කරද්දී, ඇල්ම නිරුද්ධ වීම බලමින් වාසය කරද්දී, ඇල්ම බැහැර වීම බලමින් වාසය කරද්දී, ඔහු තුළ ස්පර්ශය කෙරෙහිත්, දුක් සැප රහිත වේදනාව කෙරෙහිත් යම් අවිජ්ජානුසයක් තිබුණා නම්, එය ප්‍රහාණය වෙලා යනවා.

ඔහු සැප වේදනාවක් විඳිනවා නම් එය අනිත්‍යයි කියලා දැන ගන්නවා. එහි බැසගෙන නැති බවත් දැන ගන්නවා. සිතින් නොපිළිගන්නා බවත් දැන ගන්නවා. ඔහු දුක් වේදනාවක් විඳිනවා නම් ….(පෙ)…. ඔහු දුක් සැප රහිත වේදනාවක් විඳිනවා නම් එය අනිත්‍යයි කියලා දැන ගන්නවා. එහි බැසගෙන නැති බවත් දැන ගන්නවා. සිතින් නොපිළිගන්නා බවත් දැන ගන්නවා. ඔහු සැප වේදනාවක් විඳිනවා නම් එය හා එක් නොවී ම යි විඳින්නේ. ඔහු දුක් වේදනාවක් විඳිනවා නම් ….(පෙ)…. ඔහු දුක් සැප රහිත වේදනාවක් විඳිනවා නම් එය හා එක් නොවී ම යි විඳින්නේ. ඔහු කය පවතිනා තුරු වේදනාවක් විඳිනවා නම්, කය පවතිනා තුරු පවතින වේදනාවකුයි මං විඳින්නේ කියලා දැන ගන්නවා. ඔහු ජීවිතය පවතිනා තුරු වේදනාවක් විඳිනවා නම්, ජීවිතය පවතිනා තුරු පවතින වේදනාවකුයි මං විඳින්නේ කියලා දැන ගන්නවා. කය බිඳීමෙන්, ජීවිතය අවසන් වීමෙන් මෙහිදීම සෑම වේදනාවක් ම නොපිළිගන්නා ලදුව, සිහිල් වෙලා යන්නේය යන කරුණ දැන ගන්නවා.

පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. තෙලුත් නිසා, වැටියත් නිසා තමයි තෙල් පහන දැල්වෙන්නේ. ඒ තෙලුත් වැටියත් ඉවර වීමෙන් ආහාර රහිත වීම නිසා නිවිල යනවා. පින්වත් මහණෙනි, ඔය විදියමයි. භික්ෂුව කය පවතිනා තුරු වේදනාවක් විඳිනවා නම්, කය පවතිනා තුරු පවතින වේදනාවකුයි මං විඳින්නේ කියලා දැන ගන්නවා. ඔහු ජීවිතය පවතිනා තුරු වේදනාවක් විඳිනවා නම්, ජීවිතය පවතිනා තුරු පවතින වේදනාවකුයි මං විඳින්නේ කියලා දැන ගන්නවා. කය බිඳීමෙන්, ජීවිතය අවසන් වීමෙන් මෙහිදීම සෑම වේදනාවක් ම නොපිළිගන්නා ලදුව, සිහිල් වෙලා යන්නේය යන කරුණ දැන ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය ගේලඤ්ඤ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M