එදා ආයුෂ්මත් පුණ්ණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් පුණ්ණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා දැනගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීර්යය ඇතිව, දහමට දිවි පුදා වාසය කරන්ට පුළුවනි.
පින්වත් පුණ්ණ, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා රූප තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නවා. එහි ගුණ කියනවා, එහි බැසගෙන සිටිනවා, එතකොට එය සතුටින් පිළිගනිද්දී, එහි ගුණ කියද්දී, එහි බැසගෙන සිටිද්දී, ඔහුට උපදින්නේ තණ්හාවයි. පින්වත් පුණ්ණ, තණ්හාව හටගැනීමෙනුයි දුක හටගන්නේ කියලයි මා කියන්නේ.
පින්වත් පුණ්ණ, කනෙන් දැනගත යුතු ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දැනගත යුතු ගඳ-සුවඳ තියෙනවා ….(පෙ)…. දිවෙන් දැනගත යුතු රස තියෙනවා ….(පෙ)…. කයෙන් දැනගත යුතු පහස තියෙනවා ….(පෙ)…. පින්වත් පුණ්ණ, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා අරමුණු තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නවා. එහි ගුණ කියනවා, එහි බැසගෙන සිටිනවා, එතකොට එය සතුටින් පිළිගනිද්දී, එහි ගුණ කියද්දී, එහි බැසගෙන සිටිද්දී, ඔහුට උපදින්නේ තණ්හාවයි. පින්වත් පුණ්ණ, තණ්හාව හටගැනීමෙනුයි දුක හටගන්නේ කියලයි මා කියන්නේ.
පින්වත් පුණ්ණ, ඇසෙන් දැනගත යුතු සිත් ඇදගන්නා ලස්සන මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා රූප තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ. එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන ඉන්නෙත් නෑ, එතකොට එය සතුටින් නො පිළිගනිද්දී, එහි ගුණ නො කියද්දී, එහි බැසගෙන නො සිටිද්දී, ඔහුගේ තණ්හාව නිරුද්ධ වෙනවා. පින්වත් පුණ්ණ, තණ්හාව නිරුද්ධ වීමෙනුයි දුක නිරුද්ධ වෙන්නේ කියලයි මා කියන්නේ.
පින්වත් පුණ්ණ, කනෙන් දැනගත යුතු ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දැනගත යුතු ගඳ සුවඳ තියෙනවා ….(පෙ)…. දිවෙන් දැනගත යුතු රස තියෙනවා ….(පෙ)…. කයෙන් දැනගත යුතු පහස තියෙනවා ….(පෙ)…. පින්වත් පුණ්ණ, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා අරමුණු තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ. එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන ඉන්නෙත් නෑ, එතකොට එය සතුටින් නො පිළිගනිද්දී, එහි ගුණ නො කියද්දී, එහි බැසගෙන නො සිටිද්දී, ඔහුගේ තණ්හාව නිරුද්ධ වෙනවා. පින්වත් පුණ්ණ, තණ්හාව නිරුද්ධ වීමෙනුයි දුක නිරුද්ධ වෙන්නේ කියලයි මා කියන්නේ.
“පින්වත් පුණ්ණ, මා විසින් මේ අවවාදයෙන් සංක්ෂිප්තව අවවාද කරපු ඔබ කවර ජනපදයක වාසය කරන්ට ද යන්නේ?” “ස්වාමීනී, සුනාපරන්ත නමින් ජනපදයක් තියෙනවා. මම එහෙ තමයි වාසය කරන්නට යන්නේ.” “පින්වත් පුණ්ණ, ඔය සුනාපරන්තයේ මිනිස්සු ප්‍රචණ්ඩයි. පින්වත් පුණ්ණ, ඔය සුනාපරන්තයේ මිනිස්සු ඵරුෂයි. පින්වත් පුණ්ණ, ඔය සුනාපරන්තයේ මිනිස්සු ඔබට ආක්‍රෝශ කරාවි, පරිභව කරාවි, එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවිද?” “ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට ආක්‍රෝශ කළෝතින්, පරිභව කළෝතින්, ඒ ගැන මම මේ විදිහටයි හිතන්නේ. යම් කරුණකින් මේ උදවිය මට අතින් පයින් පහර නොදෙත් ද, සැබැවින් ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නොවැ. සැබැවින් ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත් ම යහපත් නොවැ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”
“පින්වත් පුණ්ණ, ඉතින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට අතින් පයින් පහර දේවි. එතකොට පුණ්ණ ඔබට කුමක් හිතේවිද?” “ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට අතින් පයින් පහර දුන්නොත් ඒ ගැන මම හිතන්නේ මේ විදිහටයි. යම් කරුණකින් මේ උදවිය මට ගල්වලින් පහර නොදෙත් ද, සැබැවින් ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නොවැ. සැබැවින්ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත් ම යහපත් නොවැ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”
“පින්වත් පුණ්ණ, ඉතින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට ගල්වලින් පහර දේවි. එතකොට පුණ්ණ ඔබට කුමක් හිතේවිද?” “ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට ගල්වලින් පහර දුන්නොත් ඒ ගැන මම හිතන්නේ මේ විදිහටයි. යම් කරුණකින් මේ උදවිය මට දඬුමුගුරින් පහර නොදෙත් ද, සැබැවින් ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නොවැ. සැබැවින් ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත් ම යහපත් නොවැ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”
“පින්වත් පුණ්ණ, ඉතින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට දඬුමුගුරින් පහර දේවි. එතකොට පුණ්ණ ඔබට කුමක් හිතේවිද?” “ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට දඬුමුගුරින් පහර දුන්නොත් ඒ ගැන මම හිතන්නේ මේ විදිහටයි. යම් කරුණකින් මේ උදවිය මට ආයුධයෙන් පහර නොදෙත් ද, සැබැවින් ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නොවැ. සැබැවින් ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත් ම යහපත් නොවැ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”
“පින්වත් පුණ්ණ, ඉතින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට ආයුධයෙන් පහර දේවි. එතකොට පුණ්ණ ඔබට කුමක් හිතේවිද?” “ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට ආයුධයෙන් පහර දුන්නොත් ඒ ගැන මම හිතන්නේ මේ විදිහටයි. යම් කරුණකින් මේ උදවිය මට තියුණු ආයුධයකින් පහර දී මාව මරණයට පත් නො කරවත් ද, සැබැවින් ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නොවැ. සැබැවින් ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත් ම යහපත් නොවැ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”
“පින්වත් පුණ්ණ, ඉතින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට තියුණු ආයුධයකින් පහර දී මරා දමාවි. එතකොට පුණ්ණ ඔබට කුමක් හිතේවිද?” “ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට තියුණු ආයුධයකින් පහර දී මරා දැමුවොත්, ඒ ගැන මම හිතන්නේ මේ විදිහටයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා, කය ගැනත්, ජීවිතය ගැනත් හෙම්බත් වෙලා, ලැජ්ජා වෙලා, පිළිකුල ඇති වෙලා, (දිවි නසා ගැනීමට) ආයුධ පාවිච්චි කරන්නටත් ක්‍රම සොයනවා. ඉතින් මට මේ ආයුධයක් නොසොයාම ආයුධයක් මා කරා ඇවිදින් තියෙනවා. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”
“සාදු! සාදු! පින්වත් පුණ්ණ, ඔබට ඔය දමනයෙන් සංසිඳීමෙන් යුක්ත වීම නිසා පින්වත් පුණ්ණ, සුනාපරන්ත ජනපදයේ වාසය කරන්නට පුළුවන් ම යි. පින්වත් පුණ්ණ, ඔබ යමකට දැන් සුදුසු කාලය දන්නවා.”
ඉතින් ආයුෂ්මත් පුණ්ණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව සතුටින් පිළිඅරගෙන, සතුටින් අනුමෝදන් වෙලා, අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ, පැදකුණු කොට, කුටිය අස්පස් කරලා, පාසිවුරුත් රැගෙන සුනාපරන්ත ජනපදයට චාරිකාවේ පිටත් වුණා. පිළිවෙළින් චාරිකාවේ වඩිමින් සුනාපරන්ත ජනපදය යම් තැනක ද එහි වාසය කළා. දැන් ආයුෂ්මත් පුණ්ණ තෙරුන් ඒ සුනාපරන්ත ජනපදයේ තමයි වාසය කරන්නේ.
ඉතින් ආයුෂ්මත් පුණ්ණ තෙරුන් ඒ අවුරුද්ද ඇතුළත දී ම පන්සියයක් පමණ උපාසකවරුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කෙරෙව්වා. ඒ අවුරුද්ද ඇතුළත දී ම පන්සියයක් පමණ උපාසිකාවන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කෙරෙව්වා. ඒ අවුරුද්ද ඇතුළත දී ම ත්‍රිවිද්‍යාවත් (පෙර විසූ ජීවිත දකිනා නුවණ, සත්වයන්ගේ චුතිය උපත දන්නා නුවණ, ආශ්‍රවයන් ක්ෂය කළ බව දන්නා නුවණ) සාක්ෂාත් කළා. ඒ අවුරුද්ද ඇතුළත දී ම පිරිනිවන් පෑවා.
එතකොට බොහෝ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩි වුණ ඒ භික්ෂූන්, භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙකරුණ විමසුවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂිප්තව අවවාදයකින් අවවාද කරපු යම් ඒ පුණ්ණ නම් කුල පුත්‍රයෙක් සිටියා නොවැ. ඔහු කළුරිය කළා. ඔහුගේ ගතිය කුමක්ද? පරලොව ජීවිතය කුමක්ද? පින්වත් මහණෙනි, පුණ්ණ කුල පුත්‍රයා හොඳ නුවණින් යුක්තයි. ධර්මානුකූලව ම ජීවත් වුණා. ධර්මයෙන් ප්‍රශ්න හදාගෙන මාව වෙහෙසට පත් කළේ නෑ. පින්වත් මහණෙනි, පුණ්ණ කුල පුත්‍රයා පිරිනිවන් පෑවා.
සාදු! සාදු!! සාදු!!!
පුණ්ණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-9-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M