සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.9.4. ඡන්න සුත්තං

1.9.4. ඡන්න තෙරුන්ට වදාළ දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ. ඒ දිනවල ම ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේත්, ආයුෂ්මත් ඡන්න තෙරුන් ද වැඩසිටියේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයේ. ඒ කාලයේ ආයුෂ්මත් ඡන්න තෙරුන් රෝගී වෙලා හිටියේ. දුකට පත් වෙලා, බොහෝ සේ ගිලන් වෙලා හිටියේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ සිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් චුන්දයෙනි, එනු මැනැව. ලෙඩ දුක් විමසීමට ආයුෂ්මත් ඡන්නයන් සිටින තැනට යමු.” එසේය ප්‍රිය ආයුෂ්මතුනි, කියලා ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා.

ඉතින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේත් ආයුෂ්මත් ඡන්න තෙරුන් සිටි තැනට පැමිණුනා. පැමිණිලා පණවන ලද ආසනවල වැඩසිටියා. එසේ වැඩහුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් ඡන්න තෙරුන්ගෙන් මෙකරුණ විමසුවා.

ප්‍රිය ආයුෂ්මතුනි, කොහොමද? ඔබට ඉවසිය හැකිද? කොහොමද පහසුවෙන් යැපිය හැකිද? කොහොමද දුක් වේදනා අඩුවීමක් තියෙනවා නේද? වැඩිවීමක් නෑ නේද? අඩුවීමක් ම මිස වැඩිවීමක් පෙනෙන්නේ නෑ නේද?

ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මට ඉවසන්ට අමාරුයි. පහසුවෙන් යැපෙන්ටත් අමාරුයි. මට බොහෝ දුක් වේදනා වැඩි වෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. ශක්ති සම්පන්න පුරුෂයෙක් තියුණු ආයුධයක් අරගෙන හිසට පහර දෙනවා වගෙයි. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහට ම ඉතා බලවත්ව වාතය හිස්මුදුන පෙළනවා. (අධික හිසේ කැක්කුමකින් සිටි බව පෙනේ.)

ප්‍රිය ආයුෂ්මතුනි, මට ඉවසන්ට අමාරුයි. පහසුවෙන් යැපෙන්ටත් අමාරුයි ….(පෙ)…. අඩුවීමක් පෙනෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. ශක්ති සම්පන්න පුරුෂයෙක් දැඩි වරපටකින් හිස් වෙළුම්වලින් හිස තද කරනවා වගේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහට ම ඉතා බලවත්ව මගේ හිසේ කැක්කුම තියෙනවා.

ප්‍රිය ආයුෂ්මතුනි, මට ඉවසන්ට අමාරුයි. පහසුවෙන් යැපෙන්ටත් අමාරුයි ….(පෙ)…. අඩුවීමක් පෙනෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. දක්ෂ ගව ඝාතකයෙක් හරි, ඒ ගව ඝාතකයාගේ ගෝලයෙක් හරි, ගෙරිමස් කපන තියුණු කැත්තෙන් කුස කපනවා වගේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහට ම ඉතා බලවත්ව වාතය කුස කීතු කරනවා.

ප්‍රිය ආයුෂ්මතුනි, මට ඉවසන්ට අමාරුයි. පහසුවෙන් යැපෙන්ටත් අමාරුයි ….(පෙ)…. අඩුවීමක් පෙනෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. ශක්ති සම්පන්න පුරුෂයන් දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකුව වෙන වෙන ම අත්වලින් ඇදගෙන ගිනි අඟුරු වලක දාලා තවනවා වගේ, හාත්පසින් තවනවා වගේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහට ම ඉතා බලවත්ව කයේ දැවිල්ලක් තියෙනවා.

ප්‍රිය ආයුෂ්මතුනි, මට ඉවසන්ට අමාරුයි. පහසුවෙන් යැපෙන්ටත් අමාරුයි. මට බොහෝ දුක් වේදනා වැඩි වෙනවා. අඩුවීමක් නෑ. වැඩිවීමක් මිසක් අඩුවීමක් පෙනෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මං (දිවි නසා ගැනීම පිණිස) ආයුධයක් පාවිච්චි කරනවා. මං ජීවත් වෙන්ට කැමැත්තක් නෑ.

ප්‍රිය ආයුෂ්මත් ඡන්න, (දිවි නසාගැනීම පිණිස) ආයුධයක් පාවිච්චි කරන්ට එපා. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, යැපෙනු මැනැව. අපි ආයුෂ්මත් ඡන්නයන් පහසුවෙන් යැපීම ගැනයි කැමැති. ඉදින් ආයුෂ්මත් ඡන්නයන් හට අසනීපයට ගැලපෙන දානමාන ආදිය නැත්නම් මං ආයුෂ්මත් ඡන්නයන් උදෙසා අසනීපයට ගැලපෙන දානමාන ආදිය සොයන්නම්. ඉදින් ආයුෂ්මත් ඡන්නයන් හට අසනීපයට ගැලපෙන බේත්හේත් නැත්නම්, මං ආයුෂ්මත් ඡන්නයන් හට අසනීපයට ගැලපෙන බෙහෙතුත් සොයන්නම්. ඉතින් ආයුෂ්මත් ඡන්නයන් හට ගැලපෙන උපස්ථායකයන් නැත්නම්, මං ආයුෂ්මත් ඡන්නයන් හට උපස්ථාන කරන්නම්. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, (දිවි නසාගැනීම පිණිස) ආයුධයක් පාවිච්චි කරන්ට එපා. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, යැපෙනු මැනැව. අපි ආයුෂ්මත් ඡන්නයන් පහසුවෙන් යැපීම ගැන යි කැමැති.

ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මට අසනීපයට ගැලපෙන දානමාන නැතුවා නොවෙයි. මට අසනීපයට ගැලපෙන දානමාන තියෙනවා. මට අසනීපයට ගැලපෙන බේත්හේත් නැතුවා නොවෙයි. මට අසනීපයට ගැලපෙන බෙහෙතුත් තියෙනවා. මට ගැලපෙන උපස්ථායකයන් නැතුවා නොවෙයි. මට ගැලපෙන උපස්ථායකයන් ඉන්නවා. එහෙම වුණත් ප්‍රිය ආයුෂ්මතුනි, බොහෝ කාලයක් තිස්සේ මං ශාස්තෘන් වහන්සේව ඇසුරු කළේ මනාප සිතින් ම යි. අමනාප සිතින් නම් නොවේ. ප්‍රිය ආයුෂ්මතුනි, ශාස්තෘන් වහන්සේව අමනාප සිතින් නොව මනාප සිතින් ම ඇසුරු කරනවා යන යම් කරුණක් ඇද්ද එය ශ්‍රාවකයෙකුට සුදුසු ම යි. වෙත පැමිණීමක් නොවන පරිදි තමයි ඡන්න භික්ෂුව (දිවි නසාගැනීම පිණිස) ආයුධයක් පාවිච්චි කරන්නේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔය විදිහට මෙකරුණ පිළිගන්නා සේක්වා.

අපි ආයුෂ්මත් ඡන්නයන්ගෙන් යම් කිසි කරුණක් අසන්නම්, හැබැයි ආයුෂ්මත් ඡන්නයන් ප්‍රශ්න විමසීමට අවසර දෙනවා නම් විතරයි.

ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, අසනු මැනව. අසා දැනගන්ට බැරි යැ.

ප්‍රිය ආයුෂ්මත් ඡන්න, ඇස, ඇසේ විඤ්ඤාණය, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ “මේක මගේ, මේ තමයි මම, මෙය මගේ ආත්මය” යි කියලා දකිනවාද? ප්‍රිය ආයුෂ්මත් ඡන්න, කන ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, නාසය ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, දිව, දිවේ විඤ්ඤාණය, දිවේ විඤ්ඤාණයෙන් දත යුතු දේ “මේක මගේ, මේ තමයි මම, මෙය මගේ ආත්මයි” යි කියලා දකිනවාද? ප්‍රිය ආයුෂ්මත් ඡන්න, කය ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, මනස, මනසේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ “මේක මගේ, මේ තමයි මම, මෙය මගේ ආත්මය” යි කියලා දකිනවා ද?

ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඇස, ඇසේ විඤ්ඤාණය, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ “මේක මගේ නොවේ, මේ මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ” යි කියලයි මා දකින්නේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, කන ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, නාසය ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, දිව, දිවේ විඤ්ඤාණය, දිවේ විඤ්ඤාණයෙන් දත යුතු දේ “මේක මගේ නොවේ. මේ මම නොවේ. මෙය මගේ ආත්මය නොවේ” යි කියලයි මා දකින්නේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, කය ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මනස, මනසේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ “මේක මගේ නොවේ. මේ මම නොවේ. මෙය මගේ ආත්මය නොවේ” යි කියලයි මා දකින්නේ.

ප්‍රිය ආයුෂ්මත් ඡන්න, ඇස තුළත්, ඇසේ විඤ්ඤාණය තුළත්, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තුළත් කවර දෙයක් දැකල ද, විශේෂ නුවණින් කුමක් අවබෝධ කරගෙන ද ඇස, ඇසේ විඤ්ඤාණය, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ “මේක මගේ නොවේ. මේ මම නොවේ. මෙය මගේ ආත්මය නොවේ” යි කියලා දකින්නේ? ප්‍රිය ආයුෂ්මත් ඡන්න, කන තුළත් ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, නාසය තුළත් ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, දිව තුළත්, දිවේ විඤ්ඤාණය තුළත්, දිවේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තුළත් කවර දෙයක් දැකල ද, විශේෂ නුවණින් කුමක් අවබෝධ කරගෙන ද දිව, දිවේ විඤ්ඤාණය, දිවේ විඤ්ඤාණයෙන් දත යුතු දේ “මේක මගේ නොවේ, මේ මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ” යි කියලා දකින්නේ? ප්‍රිය ආයුෂ්මත් ඡන්න, කය තුළත් ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් ඡන්න, මනස තුළත්, මනසේ විඤ්ඤාණය තුළත්, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තුළත් කවර දෙයක් දැකල ද, විශේෂ නුවණින් කුමක් අවබෝධ කරගෙන ද මනස, මනසේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ “මේක මගේ නොවේ, මේ මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ” යි කියලා දකින්නේ?

ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඇස තුළත්, ඇසේ විඤ්ඤාණය තුළත්, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තුළත් නිරුද්ධ වීම දැක්කා. නිරුද්ධ වීම විශේෂ නුවණින් අවබෝධ කරගත්තා. ඒ තුළින් තමයි ඇසත්, ඇසේ විඤ්ඤාණයත්, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේත්, “මේක මගේ නොවේ, මේ මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ” යි කියලා මා දකින්නේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, කන තුළත් ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, නාසය තුළත් ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, දිව තුළත්, දිවේ විඤ්ඤාණය තුළත්, දිවේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තුළත් නිරුද්ධ වීම දැක්කා. නිරුද්ධ වීම විශේෂ නුවණින් අවබෝධ කරගත්තා. ඒ තුළින් තමයි දිවත්, දිවේ විඤ්ඤාණයත්, දිවේ විඤ්ඤාණයෙන් දත යුතු දේත් “මේක මගේ නොවේ, මේ මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ” යි කියලා මා දකින්නේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, කය තුළත්, ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මනස තුළත්, මනසේ විඤ්ඤාණය තුළත්, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තුළත් නිරුද්ධ වීම දැක්කා. නිරුද්ධ වීම විශේෂ නුවණින් අවබෝධ කරගත්තා. ඒ තුළින් තමයි මනසත්, මනසේ විඤ්ඤාණයත්, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේත් “මේක මගේ නොවේ, මේ මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ” යි කියලා මා දකින්නේ.

එසේ පැවසූ විට ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේ, ආයුෂ්මත් ඡන්න තෙරුන්ට මේ විදිහට පැවසුවා. “එහෙමනම් ප්‍රිය ආයුෂ්මත් ඡන්නයෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙම අනුශාසනාව ද නිරතුරුව ම මනාකොට නුවණින් මෙනෙහි කළ යුතුයි. “මමත්වයෙන් ඇසුරු කරන කොට යි සැලීමක් තියෙන්නේ. මමත්වයෙන් ඇසුරක් නැත්නම්, සැලීමක් නෑ. සැලීමක් නැත්නම්, සැහැල්ලුවක් තියෙන්නේ. සැහැල්ලුබව තියෙන විට භව පැවැත්මට නැඹුරු වෙන්නේ නෑ. භව පැවැත්මට නැඹුරු නොවන විට සසරෙහි ඒමක්, යෑමක් නෑ. සසරෙහි ඒමක් යෑමක් නැතිවිට, චුතියක් උපතක් නෑ. චුතියක් උපතක් නැති විට මෙහෙත් නෑ. වෙන තැනකත් නෑ. ඒ දෙක අතරෙත් නෑ. මේක තමයි දුකෙහි අවසන් වීම’ කියලා.

ඉතින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහා චුන්දයන් වහන්සේත්, ආයුෂ්මත් ඡන්න තෙරුන් හට ඔය අවවාදයෙන් අවවාද කරලා, අසුනෙන් නැගිට ආපසු වැඩියා. එතකොට ඒ ආයුෂ්මතුන් වහන්සේලා වැඩිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් ඡන්න තෙරුන් ආයුධයක් පාවිච්චි කළා. (දිවි නසා ගත්තා)

එකල්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. ‘ස්වාමීනී, ආයුෂ්මත් ඡන්නයන් (දිවි නසා ගැනීමට) ආයුධයක් පාවිච්චි කරලා තියෙනවා. ඔහුගේ ගතිය කුමක්ද? පරලොව උපත කුමක්ද? පින්වත් සාරිපුත්ත, ඡන්න භික්ෂුව විසින් ඔබ ඉදිරියෙහි ම වෙත පැමිණීමක් නොවන විදිහට (අනුපවද්‍ය කොට) කියලා කිව්වා නේද?

ස්වාමීනී, පුබ්බචීර කියලා වජ්ජීන්ගේ ගමක් තියෙනවා. ආයුෂ්මත් ඡන්නයන්ගේ මිතුරු පවුල්, සුහද පවුල්, උපවද්‍ය (එළඹිය යුතු – වෙත පැමිණිය යුතු) පවුල් එහෙ තියෙනවා.

පින්වත් සාරිපුත්ත, ඡන්න භික්ෂුවගේ මිතුරු පවුල්, සුහද පවුල්, උපවද්‍ය (එළඹිය යුතු – වෙත පැමිණිය යුතු) පවුල් එහෙ තියෙනවා තමයි. නමුත් සාරිපුත්ත ඔපමණකින් ම මම උපවද්‍ය සහිතයි කියලා කියන්නේ නෑ. පින්වත් සාරිපුත්ත, යමෙක් මේ කය අතහරිනවාද, වෙනත් කයකට බැඳෙනවාද, අන්න ඒකටයි මම උපවද්‍ය (එළඹිය යුතු – වෙත පැමිණිය යුතු) සහිතයි කියලා කියන්නේ. ඒ දෙය ඡන්න භික්ෂුවට නෑ. ඡන්න භික්ෂුව විසින් ආයුධයක් පාවිච්චි කළේ උපවද්‍ය රහිතව යි. (වෙනත් කයකට නොබැඳෙන පරිදි ය.) පින්වත් සාරිපුත්ත, ඔය කරුණ ඔය විදිහට පිළිගන්න.

සාදු! සාදු!! සාදු!!!

ඡන්න සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-9-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M