සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.3.2. පහාන සුත්තං

1.3.2. ප්‍රහාණය කිරීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, මා ඔබට සියල්ල ප්‍රහාණය කිරීම පිණිස පවතින ධර්මයක් දේශනා කරන්නට යි යන්නේ. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, සියල්ල ප්‍රහාණය කිරීම පිණිස පවතින ධර්මය කුමක්ද? පින්වත් මහණෙනි, ඇස යනු ප්‍රහාණය කළ යුතු දෙයකි. රූප ප්‍රහාණය කළ යුතුය. ඇසේ විඤ්ඤාණය ප්‍රහාණය කළ යුතුය. ඇසේ ස්පර්ශය ප්‍රහාණය කළ යුතුය. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇද්ද එයත් ප්‍රහාණය කළ යුතුය ….(පෙ)…. දිව ප්‍රහාණය කළ යුතුය. රස ප්‍රහාණය කළ යුතුය. දිවේ විඤ්ඤාණය ප්‍රහාණය කළ යුතුය. දිවේ ස්පර්ශය ප්‍රහාණය කළ යුතුය. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇද්ද එයත් ප්‍රහාණය කළ යුතුය ….(පෙ)…. මනස ප්‍රහාණය කළ යුතුය. මනසට අරමුණු වන දේ ප්‍රහාණය කළ යුතුය. මනසේ විඤ්ඤාණය ප්‍රහාණය කළ යුතුය. මනසේ ස්පර්ශය ප්‍රහාණය කළ යුතුය. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇද්ද එයත් ප්‍රහාණය කළ යුතුය. පින්වත් මහණෙනි, සියල්ල ප්‍රහාණය කිරීම පිණිස පවතින ධර්මය යනු මෙය යි.

සාදු! සාදු!! සාදු!!!

පහාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M