සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.2.2. දුතිය සම්බෝධ සුත්තං

1.2.2. සම්බුද්ධත්වය ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, සම්බුද්ධත්වයට කලින්ම, සම්බුද්ධත්වයට පත් නොවී, (මේ ජීවිතයේ දී ම) බෝධිසත්වයන් වහන්සේ හැටියට සිටිය දී ම මා හට මේ අදහස ඇති වුණා. රූපවල තිබෙන ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිදහස් වීම කුමක්ද? ශබ්දවල තිබෙන ….(පෙ)…. ගඳ-සුවඳෙහි තිබෙන ….(පෙ)…. රසයෙහි තිබෙන ….(පෙ)…. පහසෙහි තිබෙන ….(පෙ)…. සිතට අරමුණු වන දේවල්වල තිබෙන ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිදහස් වීම කුමක්ද? කියලා.

පින්වත් මහණෙනි, එතකොට මට මේ කරුණ අවබෝධ වුණා. රූප හේතු කරගෙන යම් සැපයක් සොම්නසක් උපදිනවා නම්, මේක තමයි රූපවල ඇති ආශ්වාදය. ඉතින් ඔය රූප අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් මේක තමයි රූපවල ඇති ආදීනවය. රූප කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරු කිරීමක් ඇත්ද, ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇත්ද, මේක තමයි රූපවලින් නිදහස් වීම. ශබ්ද හේතු කරගෙන යම් ….(පෙ)…. ගඳ-සුවඳ හේතු කරගෙන යම් ….(පෙ)…. රස හේතු කරගෙන යම් ….(පෙ)…. පහස හේතු කරගෙන යම් ….(පෙ)…. සිතට අරමුණු වන දේ හේතු කරගෙන යම් සැපයක් සොම්නසක් උපදිනවා නම්, මේක තමයි සිතට අරමුණු වන දේ තුළ ඇති ආශ්වාදය. ඉතින් ඔය සිතට අරමුණු වන දේ අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් මේක තමයි සිතට අරමුණු වන දේ තුළ ඇති ආදීනවය. සිතට අරමුණු වන දේ කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරු කිරීමක් ඇත්ද, ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇත්ද, මේක තමයි සිතට අරමුණු වන දෙයින් නිදහස් වීම.

පින්වත් මහණෙනි, මා යම්තාක් කලක් මේ බාහිර ආයතන හය පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන් ම අවබෝධ කළේ නැත් ද, ….(පෙ)…. ඒ වූ ස්වභාවයෙන් ම අවබෝධ කරගත්තා ද, පින්වත් මහණෙනි, එතකොට යි මා දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ, මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ වගට ප්‍රතිඥා දුන්නේ. මා තුළ ඥානදර්ශනය පහළ වුණා. මගේ චිත්තවිමුක්තිය නො වෙනස් වන දෙයක්. මේක මාගේ අවසාන උපතයි. ආයෙත් නම් දැන් පුනර්භවයක් නෑ.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සම්බෝධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M