සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.15.5. චතුත්ථ සප්පාය සුත්තං

1.15.5. උපකාරී වන දේ ගැන වදාළ හතරවෙනි දෙසුම

පින්වත් මහණෙනි, ඒ අමා නිවන පිණිස උපකාරී වන ප්‍රතිපදාව මා ඔබට දේශනා කරන්ටයි යන්නේ. එය සවන් යොමා අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්. පින්වත් මහණෙනි, ඒ අමා නිවන පිණිස උපකාරී වන ප්‍රතිපදාව යනු කුමක්ද?

පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඇස නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

රූප නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. ඇසේ විඤ්ඤාණය නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. ඇසේ ස්පර්ශය නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද එය නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

කන ….(පෙ)…. නාසය ….(පෙ) දිව ….(පෙ)…. කය ….(පෙ)…. මනස නිත්‍ය ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි ….(පෙ)…. මනසට අරමුණු වන දේ ….(පෙ)…. මනසේ විඤ්ඤාණය ….(පෙ)…. මනසේ ස්පර්ශය ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද එය නිත්‍යයි ද? අනිත්‍යයි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රූප ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණ විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා. පින්වත් මහණෙනි, ඒ අමා නිවන පිණිස උපකාරී වන ප්‍රතිපදාව යනු මෙයයි.

සාදු! සාදු!! සාදු!!!

චතුත්ථ සප්පාය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-15-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M