සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.15.10. ධම්මකථික සුත්තං

1.15.10. ධම්මකථික භික්ෂුව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ……

එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනී, ‘ධර්ම කථිකයා, ධර්ම කථිකයා’ කියලා කියනවා. ස්වාමීනී, ධර්ම කථිකයෙක් වෙන්නේ කවර කරුණු මතද?”

පින්වත් භික්ෂුව, ඉදින් ඇස ගැන අවබෝධයෙන් ම කලකිරීම පිණිස, ඇල්ම දුරු වීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, දහම් දෙසනවා නම්, ‘ධර්ම කථික භික්ෂුව’ යැයි කීමට සුදුසුයි. පින්වත් භික්ෂුව, ඉදින් ඇස ගැන අවබෝධයෙන් ම කලකිරීම පිණිස, ඇල්ම දුරු වීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, ධර්මයේ හැසිරෙනවා නම්, ‘ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු භික්ෂුව’ කියලා කීමට සුදුසුයි. පින්වත් භික්ෂුව, ඉදින් ඇස ගැන අවබෝධයෙන් ම කලකිරිලා, ඇල්ම දුරු කරලා, ඇල්ම නිරුද්ධ කරලා, උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වුණා නම්, ‘මේ ජීවිතය තුළ දී ම අමා මහ නිවනට පත්වුණ භික්ෂුව’ කියලා කීමට සුදුසුයි.

කන ගැන ….(පෙ)…. නාසය ගැන ….(පෙ)…. දිව ගැන ….(පෙ)…. කය ගැන ….(පෙ)…. පින්වත් භික්ෂුව, ඉදින් මනස ගැන අවබෝධයෙන් ම කලකිරීම පිණිස, ඇල්ම දුරු වීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, දහම් දෙසනවා නම්, ‘ධර්ම කථික භික්ෂුව’ යැයි කීමට සුදුසුයි. පින්වත් භික්ෂුව, ඉදින් මනස ගැන අවබෝධයෙන් ම කලකිරීම පිණිස, ඇල්ම දුරු වීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, ධර්මයේ හැසිරෙනවා නම්, ‘ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු භික්ෂුව’ කියලා කීමට සුදුසුයි. පින්වත් භික්ෂුව, ඉදින් මනස ගැන අවබෝධයෙන් ම කලකිරිලා, ඇල්ම දුරු කරලා, ඇල්ම නිරුද්ධ කරලා, උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වුණා නම්, ‘මේ ජීවිතය තුළ දීම අමා මහ නිවනට පත්වුණ භික්ෂුව’ කියලා කීමට සුදුසුයි.

සාදු! සාදු!! සාදු!!!

ධම්මකථික සූත්‍රය නිමා විය.

පහළොස්වෙනි නව පුරාණ වර්ගය යි.

එහි පිළිවෙළ උද්දානය යි.

කම්ම සූත්‍රය, සප්පාය සූත්‍ර හතරයි, අන්තේවාසික සූත්‍රය, කිමත්ථිය සූත්‍රය, අත්ථිනුඛෝපරියාය සූත්‍රය, ඉන්ද්‍රිය සම්පන්න සූත්‍රය, ධම්මකථික සූත්‍රය වශයෙන් මෙම වර්ගය සමන්විත වෙයි.

තුන්වෙනි පණ්ණාසකය යි.

එහි වර්ගයන් ගේ පිළිවෙළ උද්දානය යි.

යෝගක්ඛේමි වර්ගයද, ලෝක වර්ගයද, ගහපති වර්ගයද, දේවදහ වර්ගයද, නවපුරාණ වර්ගයද, යන මෙයින් සූත්‍ර පණස් දෙකක් කියවෙයි. එය තුන්වෙනි පණ්ණාසකයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-15-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M