පින්වත් මහණෙනි, අළුත් හා පැරණි කර්ම ගැනත්, කර්ම නිරුද්ධ වීම ගැනත්, කර්ම නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැනත් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. මනාකොට මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.
පින්වත් මහණෙනි, පැරණි කර්මය යනු මොකක්ද? පින්වත් මහණෙනි, ඇස යනු පැරණි කර්මයක්. හේතූන්ගෙන් සකස් වුණ, චේතනාවකින් සකස් වුණ, විඳීමකින් දැනගත යුතු දෙයක්. කන යනු පැරණි කර්මයක්. හේතූන් ගෙන් සකස් වුණ, චේතනාවකින් සකස් වුණ, විඳීමකින් දැනගත යුතු දෙයක්. නාසය යනු පැරණි කර්මයක්. හේතූන්ගෙන් සකස් වුණ, චේතනාවකින් සකස් වුණ, විඳීමකින් දැනගත යුතු දෙයක්. දිව යනු පැරණි කර්මයක්. හේතූන් ගෙන් සකස් වුණ, චේතනාවකින් සකස් වුණ, විඳීමකින් දැනගත යුතු දෙයක්. කය යනු පැරණි කර්මයක්. හේතූන්ගෙන් සකස් වුණ, චේතනාවකින් සකස් වුණ, විඳීමකින් දැනගත යුතු දෙයක්. මනස යනු පැරණි කර්මයක්. හේතූන් ගෙන් සකස් වුණ, චේතනාවකින් සකස් වුණ, විඳීමකින් දැනගත යුතු දෙයක්. පින්වත් මහණෙනි, පැරණි කර්මය කියලා කියන්නේ මෙයටයි.
පින්වත් මහණෙනි, අළුත් කර්මය යනු කුමක්ද? පින්වත් මහණෙනි, දැන් කයින්, වචනයෙන්, මනසින් යම් කර්මයක් කරනවා නම්, පින්වත් මහණෙනි, අළුත් කර්මය කියලා කියන්නේ මේකටයි.
පින්වත් මහණෙනි, කර්මය නිරුද්ධ වීම යනු කුමක්ද? පින්වත් මහණෙනි, යම් කෙනෙක් කාය කර්මයන්ගේ, වචී කර්මයන්ගේ, මනෝ කර්මයන්ගේ නිරුද්ධ වීමෙන් විමුක්තිය ස්පර්ශ කරනවා නම්, පින්වත් මහණෙනි, මේකට තමයි කර්ම නිරුද්ධ වීම කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, කර්ම නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යනු කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි. පින්වත් මහණෙනි, කර්ම නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා කියන්නේ මේකටයි.
මේ විදිහට පින්වත් මහණෙනි, මා විසින් ඔබට පැරණි කර්මය ගැන දේශනා කරලා තියෙනවා. අළුත් කර්මය දේශනා කරලා තියෙනවා. කර්ම නිරුද්ධ වීම දේශනා කරලා තියෙනවා. කර්ම නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව දේශනා කරලා තියෙනවා. පින්වත් මහණෙනි, ශ්‍රාවකයන්ට හිතවත් වූ, අනුකම්පාවෙන් යුතු වූ, යම් ශාස්තෘන් වහන්සේ නමක් විසින් අනුකම්පාව උපදවාගෙන ඔබට යමක් කළ යුතු නම්, මා විසින් එය ඔබට කරලයි තියෙන්නේ. පින්වත් මහණෙනි, ඔය තියෙන්නේ රුක් සෙවණ, ඔය තියෙන්නේ නිදහස් කුටි, පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන්න. ප්‍රමාද වෙන්ට එපා. පස්සේ පසුතැවිල්ලට පත්වෙන්න එපා. මේක තමයි ඔබට අපගෙන් කෙරෙන අනුශාසනාව.
සාදු! සාදු!! සාදු!!!
කම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-15-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M