සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.13.9. ලෝහිච්ච සුත්තං

1.13.9. ලෝහිච්ච බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ වැඩසිටියේ අවන්ති ජනපදයේ මක්කරකට නුවර වනගත කුටියකයි. එදා ලෝහිච්ච බ්‍රාහ්මණයාගේ දර ගෙනයන අන්තේවාසික තරුණයන් (නේවාසික ශිෂ්‍යයන්) බොහෝ දෙනෙක් ආයුෂ්මත් කච්චානයන් වහන්සේ වැඩසිටි කුටිය ළඟට පැමිණුනා. පැමිණිලා කුටිය වටේ කැරකි කැරකි එහෙ මෙහෙ ඇවිදනවා. වට පිට ඇවිදිනවා. යම් යම් සෙල්ලම් කරමින් “මෙවුන් මුඩුවෝ, නින්දිත ශ්‍රමණයෝ, නරුමයෝ, පවිටෝ, මහා බ්‍රහ්ම රාජයාගේ යටි පල්ලෙන් උපන්නෝ. ගම්වැසියන්ගෙන් සත්කාර, ගෞරව, සම්මාන, වැඳුම් පිදුම් ලබාගෙන ඉන්නවා” කියලා උස් හඬින් ශබ්ද කළා. මහත් ශබ්ද කළා.

එතකොට ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ කුටියෙන් එළියට වැඩලා ඒ තරුණයන්ට මෙහෙම වදාළා. “එම්බා තරුණයෙනි, ශබ්ද කරන්ට එපා, මං ඔබට ධර්මයක් කියලා දෙන්නම්” එසේ වදාළ විට ඒ තරුණයන් නිශ්ශබ්ද වුණා. එකල්හි ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ ඒ තරුණයන්ට ගාථාවලින් වදාළා.

(ගාථාවන් ය)

1. යම් කෙනෙක් පුරාණ අවධිය සිහි කරනවා නම්, ඒ ඈත අතීතයේ හිටපු බ්‍රාහ්මණවරු සීලයෙන් ම යි උතුම් වුණේ. ඔවුන් ඉඳුරන් පවින් වැළැක්වූවා. හොඳින් රැකගත්තා. ඔවුන් තමන්ගේ ක්‍රෝධය පාලනය කරලයි හිටියේ.

2. යම් කෙනෙක් පුරාණ අවධිය සිහි කරනවා නම්, ඒ බ්‍රාහ්මණවරු ධර්මයටත්, ධ්‍යානවලටත් ඇලිලයි හිටියේ. ඒකට මේ උදවිය, අපි මන්තර ජප කරනවාය කිය කියා ඒ ගුණවලින් ඉවත් වුණා. කුලගොත්වලින් මත් වෙලා, ක්‍රෝධයට යටවෙලා නොයෙක් දඬු මුඟුරු අරගෙන තැති ගන්නා, තැති නොගන්නා සත්වයන් කෙරෙහි වැරදි විදිහට පිළිපදිමින් විෂම ලෙස හැසිරෙනවා.

3. ඉඳුරන් පවෙන් නො වළක්වන කෙනාගේ ගුණ දහම් හිස් වෙලා යනවා. මනුෂ්‍යයෙකුට හීනෙකින් ලැබිච්ච වස්තුවක් වගේ (දැන් ඉන්න උදවිය) උපවාස කිරීම, කුසතණ ඇතිරූ බිමක සැතපීම, හිමිදිරියේ වතුරේ බැහැලා නෑම, තුන් වේදය, ගොරෝසු අඳුන් දිවි සම, ජටා බැඳීම, දත් නොමැද සිටීම, මන්තර ජප කිරීම, සීලව්‍රැත තපස් රැකීම, කුහක බව, ඇදවෙච්ච හැරමිටි තිබීම, ශුද්ධ වතුරෙන් මූණ සේදීම කියන මේවා බ්‍රාහ්මණයන් විසින් මොන මොනවා හරි ලාභයක් උපදවා ගන්නමයි වර්ණනා කරලා හදාගෙන තියෙන්නේ.

4. ඒ පුරාණ බ්‍රාහ්මණවරුන්ගේ සිත හොඳින් සමාහිත වෙලා තිබුණා. පහන් වෙලා නො කැළඹී තිබුණා. සෑම සත්වයෙක් ගැන ම මෙත් සිත තිබුණා. ඒකයි ශ්‍රේෂ්ඨත්වයට පත් වීමේ මාර්ගය.

එතකොට ඒ තරුණයන් කිපුණා. නොසතුටු වුණා. ලෝහිච්ච බ්‍රාහ්මණයා හිටි තැනට ගියා. ගිහින් ලෝහිච්ච බ්‍රාහ්මණයාට මෙහෙම කිව්වා. “ඒයි භවත, දන්නවාද? මහාකච්චාන ශ්‍රමණයා බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍රවලට එකදිගට නින්දා කරනවා. දොස් නගනවා.”

එහෙම කිව්වහම ලෝහිච්ච බ්‍රාහ්මණයා කිපුණා. නොසතුටු වුණා. එතකොට ලෝහිච්ච බ්‍රාහ්මණයාට මෙහෙම හිතුණා. “මං වගේ කෙනෙක් මේ තරුණයන්ගෙන් යමක් අහලා මහාකච්චාන ශ්‍රමණයා හට ආක්‍රෝෂ කරනවා නම්, පරිභව කරනවා නම්, ඒක මට ගැළපෙන දෙයක් නොවෙයි. මං එතැනට ගිහිල්ලම අහන එක තමයි හොඳ.”

ඉතින් ලෝහිච්ච බ්‍රාහ්මණයා ඒ තරුණයන් සමඟ ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ වැඩසිටි තැනට ගියා. ගිහින් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ සමඟ සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ලෝහිච්ච බ්‍රාහ්මණයා ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේගෙන් මෙය ඇසුවා.

“භවත් කච්චානයෙනි, මෙහෙට අපගේ අන්තේවාසික වූ දර ගෙනියන තරුණයන් බොහෝ දෙනෙක් ආවද?” “පින්වත් බ්‍රාහ්මණය, ඔබේ අන්තේවාසික වූ දර ගෙනියන බොහෝ තරුණයන් මෙහෙට ආවා තමයි.” “ඒ තරුණයන් සමඟ භවත් කච්චානයන් ගේ යම් කිසි කතාබහක් ඇති වුණාද?” “පින්වත් බ්‍රාහ්මණය, ඒ තරුණයන් සමඟ මගේ යම් කිසි කතාබහකුත් ඇති වුණා තමයි.” “ඒ තරුණයන් සමඟ භවත් කච්චානයන්ගේ කතාබහ ඇති වුණේ මොන ආකාරයෙන්ද?” “පින්වත් බ්‍රාහ්මණය, ඒ තරුණයන් සමඟ මගේ කතාබහ ඇති වුණේ මෙන්න මේ විදිහට.

යම් කෙනෙක් පුරාණ අවධිය සිහි කරනවා නම්, ඒ ඈත අතීතයේ හිටපු බ්‍රාහ්මණවරු සීලයෙන්මයි උතුම් වුණේ ….(පෙ)…. සෑම සත්වයෙක් ගැන ම මෙත් සිත තිබුණා. ඒකයි ශ්‍රේෂ්ඨත්වයට පත් වීමේ මාර්ගය.

පින්වත් බ්‍රාහ්මණය, ඔය විදිහටයි ඒ තරුණයන් සමඟ මගේ කතාබහ ඇති වුණේ.”

“භවත් කච්චානයන් පවින් නොවැළකූ ඉඳුරන් තියෙනවා කියලා කියනවා නොවැ. භවත් කච්චානයෙනි, පවින් නොවැළකූ ඉඳුරන් ඇති වන්නේ කොපමණකින්ද?”

“පින්වත් බ්‍රාහ්මණය, මෙහි ඇතැම් කෙනෙක් ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාව ඇති රූපයට ගිජු වෙනවා. අප්‍රිය ස්වභාව ඇති රූපයට කිපෙනවා. කය පිළිබඳව සිහිය නොපිහිටුවා ගෙන ඉන්නවා. පටු සිතින් ඉන්නවා. යම් තැනක ඒ උපන් පාපී අකුසල් ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ නැත්නම්, ඒ නිසා ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධයක් නෑ.

කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් සිතලා ප්‍රිය ස්වභාව ඇති අරමුණට ගිජු වෙනවා. අප්‍රිය ස්වභාව ඇති අරමුණට කිපෙනවා. කය පිළිබඳව සිහිය නොපිහිටුවා ගෙන ඉන්නවා. පටු සිතින් ඉන්නවා. යම් තැනක ඒ උපන් පාපී අකුසල් ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ නැත්නම්, ඒ නිසා ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධයක් නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඔය ආකාරයටයි පවින් නොවැළකූ ඉඳුරන් ඇති කෙනෙක් වෙන්නේ.”

“භවත් කච්චානයෙනි, ආශ්චර්යයි. භවත් කච්චානයෙනි, පුදුම සහගතයි. භවත් කච්චානයන් විසින් පවින් නොවැළකූ ඉඳුරන් ඇති කෙනා වශයෙන් පවසන ලද්දේ පවින් නොවැළකූ ඉඳුරන් ඇති කෙනෙක් ගැන ම යි. භවත් කච්චානයන් පවින් වැළකූ ඉඳුරන් ඇති කෙනා ගැනත් කියනවා නොවැ. භවත් කච්චානයෙනි, පවින් වැළකූ ඉඳුරන් ඇති කෙනෙක් වන්නේ කවර කරුණු මතද?”

“පින්වත් බ්‍රාහ්මණය, මෙහි භික්ෂුව, ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාව ඇති රූපයට ගිජු වෙන්නේ නෑ. අප්‍රිය ස්වභාව ඇති රූපයට කිපෙන්නේ නෑ. කය පිළිබඳව සිහිය පිහිටුවා ගෙන ඉන්නවා. ප්‍රමාණ රහිත සිතින් ඉන්නවා. යම් තැනක ඒ උපන් පාපී අකුසල් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම්, ඒ නිසා ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධයෙන් දන්නවා. කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් සිතලා ප්‍රිය ස්වභාව ඇති අරමුණට ගිජු වෙන්නේ නෑ. අප්‍රිය ස්වභාව ඇති අරමුණට කිපෙන්නේ නෑ. කය පිළිබඳව සිහිය පිහිටුවා ගෙන ඉන්නවා. ප්‍රමාණ රහිත සිතින් ඉන්නවා. යම් තැනක ඒ උපන් පාපී අකුසල් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම්, ඒ නිසා ඒ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් ගැන ඒ ආකාරයෙන් ම අවබෝධයෙන් දන්නවා. පින්වත් බ්‍රාහ්මණය, ඔය ආකාරයටයි පවින් වැළකූ ඉඳුරන් ඇති කෙනෙක් වෙන්නේ.”

“භවත් කච්චානයෙනි, ආශ්චර්යයි. භවත් කච්චානයෙනි, පුදුම සහගතයි. භවත් කච්චානයන් විසින් පවින් වැළකූ ඉඳුරන් ඇති කෙනා වශයෙන් පවසන ලද්දේ පවින් වැළකූ ඉඳුරන් ඇති කෙනෙක් ගැන ම යි. භවත් කච්චානයෙනි ඉතා සුන්දරයි, භවත් කච්චානයෙනි ඉතා සුන්දරයි. භවත් කච්චානයෙනි, යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුළා වූවන්ට නියම මග පෙන්වා දෙනවා වගේ. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භවත් කච්චානයන් වහන්සේ නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. භවත් කච්චානයෙනි, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝ රත්නයත් සරණ යනවා. භවත් භාරද්වාජ, මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවට ම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකන සේක්වා…!

භවත් කච්චානයන් වහන්සේ මක්කරකට නගරයේ උපාසක පවුල් වෙත යම් අයුරකින් වඩින සේක් නම්, ඒ අයුරින්ම ලෝහිච්ච නිවසට ද වඩින සේක්වා. එහිදී යම් තරුණයන් වේවා, තරුණියන් වේවා, භවත් කච්චානයන් වහන්සේට ආදරයෙන් වන්දනා කරාවි. උපස්ථාන කරාවි. ආසනයක් හෝ පැන් හෝ පූජා කරාවි. එය ඔවුන්ට බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි.”

සාදු! සාදු!! සාදු!!!

ලෝහිච්ච සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-13-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M