සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.13.10. වේරහච්චානි සුත්තං

1.13.10. වේරහච්චානි ගෘහපතිනියට වදාළ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් උදායි තෙරුන් වැඩසිටියේ කාමණ්ඩා නුවර තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ අඹ වනයේ. එදා වේරහච්චානිගෝත්‍ර ඇති බැමිණියගේ අන්තේවාසික තරුණයෙක් ආයුෂ්මත් උදායි තෙරුන් වැඩසිටි තැනට ගියා. ගිහින් ආයුෂ්මත් උදායි තෙරුන් සමඟ සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ තරුණයාව ආයුෂ්මත් උදායි තෙරුන් දහම් කතාවෙන් කරුණු දැක්වූවා. සමාදන් කෙරෙව්වා. උනන්දු කෙරෙව්වා. සතුටු කෙරෙව්වා.

එතකොට ආයුෂ්මත් උදායි තෙරුන් විසින් දහම් කතාවෙන් කරුණු දක්වපු, සමාදන් කරවපු, උනන්දු කරවපු, සතුටු කරවපු ඒ තරුණයා අසුනෙන් නැගිට වේරහච්චානිගෝත්‍ර බැමිණිය ළඟට ගියා. ගිහින් වේරහච්චානිගෝත්‍ර බැමිණියට මෙහෙම කිව්වා. “ඒයි භවතිය, දන්නවාද? උදායි ශ්‍රමණයන් වහන්සේ දහම් දෙසනවා. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, අග කල්‍යාණ වූ අරුත් සහිත වූ, පැහැදිලි වචන සහිත වූ, මුළුමණින් ම පිරිපුන්, පිරිසිදු බඹසර ප්‍රකාශ කරනවා නොවැ.”

“එසේ වී නම් එම්බා තරුණය, ඔබ මගේ වචනයෙන් උදායි ශ්‍රමණයන් හට හෙට දානයට ආරාධනා කරන්න.” ‘එසේය භවති’ කියලා ඒ තරුණයා වේරහච්චානිගෝත්‍ර බැමිණියට පිළිතුරු දීලා ආයුෂ්මත් උදායි තෙරුන් ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙකරුණ පැවසුවා. “භවත් උදායි තෙරණුවෝ අපගේ ආචාර්ය බිරිඳ වූ වේරහච්චානි ගෝත්‍ර බ්‍රාහ්මණතුමියගේ හෙට දානය ඉවසන සේක්වා.” ආයුෂ්මත් උදායි තෙරුන් නිශ්ශබ්ද වීමෙන් එය පිළිගත්තා.

එතකොට ආයුෂ්මත් උදායි තෙරුන් ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරුවෙහි සිවුරු හැඳ පෙරව, පාසිවුරු ගෙන වේරහච්චානි ගෝත්‍ර බැමිණියගේ නිවසට පැමිණියා. පැමිණිලා පනවන ලද අසුනෙහි වැඩසිටියා. එහි දී වේරහච්චානි ගෝත්‍ර බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුන්ව ප්‍රණීත වූ කෑ යුතු, බිදිය යුතු දෙයින් සියතින් ම සන්තර්පණය කළා. මැනවින් සත්කාර කළා. ඉක්බිති වේරහච්චානිගෝත්‍ර බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුන් වළඳා අවසන් කොට පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති බව දැන සෙරෙප්පු දෙකක් දාගෙන, උස පුටුවක වාඩි වෙලා, හිසත් වසා පොරවාගෙන ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙහෙම කිව්වා. ‘ශ්‍රමණය, බණ කියන්න’ කියලා. ‘සොහොයුරිය, එයට සුදුසු කල් පැමිණේවි’ කියලා අසුනෙන් නැගිට ආපසු වැඩම කළා.

දෙවන වතාවේත් ඒ තරුණයා ආයුෂ්මත් උදායි තෙරුන් වැඩසිටි තැනට ගියා. ගිහින් ආයුෂ්මත් උදායි තෙරුන් සමඟ සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ තරුණයාව ආයුෂ්මත් උදායි තෙරුන් දහම් කතාවෙන් කරුණු දැක්වූවා. සමාදන් කෙරව්වා. උනන්දු කෙරෙව්වා. සතුටු කෙරෙව්වා.

දෙවන වතාවේත් ආයුෂ්මත් උදායි තෙරුන් විසින් දහම් කතාවෙන් කරුණු දක්වපු, සමාදන් කරවපු, උනන්දු කරවපු, සතුටු කරවපු ඒ තරුණයා අසුනෙන් නැගිට වේරහච්චානිගෝත්‍ර බැමිණිය ළඟට ගියා. ගිහින් වේරහච්චානි ගෝත්‍ර බැමිණියට මෙහෙම කිව්වා. “ඒයි භවතිය, දන්නවාද? උදායි ශ්‍රමණයන් වහන්සේ දහම් දෙසනවා. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, අග කල්‍යාණ වූ අරුත් සහිත වූ, පැහැදිලි වචන සහිත වූ, මුළුමණින් ම පිරිපුන්, පිරිසිදු බඹසර ප්‍රකාශ කරනවා නොවැ.”

“එම්බා තරුණය, ඔබ උදායි ශ්‍රමණයන් පිළිබඳව ඔය විදිහට වර්ණනා කරනවා. ඒ වුණාට ඒ උදායි ශ්‍රමණයන් වහන්සේට “ශ්‍රමණය, බණ කියන්න” කියලා කිව්වහම “සොහොයුරිය, එයට සුදුසු කල් පැමිණේවි” කියලා අසුනෙන් නැගිට ආපසු විහාරයට වැඩිය නොවැ.”

“භවතී, ඒක එහෙම තමයි. ඔබ ඉතින් සෙරෙප්පුත් දාගෙන, උස පුටුවකත් වාඩි වී, හිසත් වසා පොරවා ගෙනනෙ මෙහෙම කිව්වේ. “ශ්‍රමණය බණ කියන්න” කියලා. ධර්මය ගුරු කොට සිටින ඒ ස්වාමීන් වහන්සේලා ධර්ම ගෞරවයෙන් යුක්තයි.”

“එසේ වී නම් එම්බා තරුණය, ඔබ මගේ වචනයෙන් උදායි ශ්‍රමණයන් හට හෙට දානයට ආරාධනා කරන්න.” ‘එසේය භවතී’ කියලා ඒ තරුණයා වේරහච්චානිගෝත්‍ර බැමිණියට පිළිතුරු දීලා ආයුෂ්මත් උදායි තෙරුන් ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙකරුණ පැවසුවා. “භවත් උදායි තෙරණුවෝ අපගේ ආචාර්ය බිරිඳ වූ වේරහච්චානිගෝත්‍ර බ්‍රාහ්මණතුමියගේ හෙට දානය ඉවසන සේක්වා.” ආයුෂ්මත් උදායි තෙරුන් නිශ්ශබ්ද වීමෙන් එය පිළිගත්තා.

එතකොට ආයුෂ්මත් උදායි තෙරුන් ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරුවෙහි සිවුරු හැඳ පෙරව, පාසිවුරු ගෙන වේරහච්චානි ගෝත්‍ර බැමිණියගේ නිවසට පැමිණියා. පැමිණිලා පනවන ලද අසුනෙහි වැඩසිටියා. එහි දී වේරහච්චානි ගෝත්‍ර බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුන්ව ප්‍රණීත වූ කෑ යුතු, බිදිය යුතු දෙයින් සියතින් ම සන්තර්පණය කළා. මැනවින් සත්කාර කළා. ඉක්බිති වේරහච්චානි ගෝත්‍ර බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුන් වළඳා අවසන් කොට පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති බව දැන සෙරෙප්පු දෙක ඉවත් කරලා, මිටි පුටුවක වාඩි වෙලා, හිසත් විවර කරගෙන ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, රහතන් වහන්සේලා සැප දුක් පණවන්නේ කුමක් තිබෙන විටද? රහතන් වහන්සේලා සැප දුක් නොපණවන්නේ කුමක් නොතිබෙන විටද?” “පින්වත් සොහොයුරිය, රහතන් වහන්සේලා සැප දුක් පණවන්නේ ඇස තිබෙන විටයි. ඇස නො තිබෙන කල්හි රහතන් වහන්සේලා සැප දුක් පණවන්නේ නෑ ….(පෙ)…. දිව නො තිබෙන කල්හි රහතන් වහන්සේලා සැප දුක් පණවන්නේ නෑ ….(පෙ)…. කය ….(පෙ)…. මනස තිබෙන විට රහතන් වහන්සේලා සැප දුක් පණවනවා. මනස නැති කල්හි රහතන් වහන්සේලා සැප දුක් පණවන්නේ නෑ.”

මෙසේ වදාළ විට වේරහච්චානි ගෝත්‍ර බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙහෙම කිව්වා. ස්වාමීනී, ඉතා සුන්දරයි, ස්වාමීනී, ඉතා සුන්දරයි. ස්වාමීනී, යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුළා වූවන්ට නියම මග පෙන්වා දෙනවා වගේ. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට ආර්ය වූ උදායි තෙරුන් වහන්සේ නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ආර්ය වූ උදායි තෙරුන් වහන්ස, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝ රත්නයත් සරණ යනවා. ආර්ය වූ උදායි තෙරුන් වහන්ස, මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවට ම තෙරුවන් සරණ ගිය උපාසිකාවක් ලෙස සළකන සේක්වා…!

සාදු! සාදු!! සාදු!!!

වේරහච්චානි සූත්‍රය නිමා විය.

දහතුන් වෙනි ගහපති වර්ගය යි.

එහි පිළිවෙළ උද්දානය යි.

වේසාලි සූත්‍රය, වජ්ජි සූත්‍රය, නාලන්දා සූත්‍රය, භාරද්වාජ සූත්‍රය, සෝණ සූත්‍රය, ඝෝසිත සූත්‍රය, හාලිද්දකානි සූත්‍රය, නකුලපිතු සූත්‍රය, ලෝහිච්ච සූත්‍රය, වේරහච්චානි සූත්‍රය යන දෙසුම්වලින් මෙම වර්ගය සමන්විතයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-13-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M