සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.13.7. හාලිද්දකානි සුත්තං

1.13.7. හාලිද්දකානි ගෘහපතිතුමා හට වදාළ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් මහාකච්චානයන් වැඩසිටියේ ‘අවන්ති’ ජනපදයේ ‘කුරරඝර පවත්ත’ නම් පර්වතයේ. එදා හාලිද්දකානි ගෘහපතිතුමා ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ හාලිද්දකානි ගෘහපතිතුමා ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනී, ධාතු විවිධත්වය හේතුවෙනුයි ස්පර්ශයේ විවිධත්වය ඇති වන්නේ. ස්පර්ශයේ විවිධත්වය හේතුවෙනුයි විඳීම්වල විවිධත්වය ඇති වන්නේ” යන මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෙයක්. ස්වාමීනී, ධාතු විවිධත්වය හේතුවෙන් ස්පර්ශයේ විවිධත්වය ඇති වන්නේ, ස්පර්ශයේ විවිධත්වය හේතුවෙන් විඳීම්වල විවිධත්වය ඇති වන්නේ කොහොමද?

පින්වත් ගෘහපතිය, මෙහිලා භික්ෂුව, ඇසින් රූපයක් දැක මේ විදිහට ‘මේක මනාපයි නොවැ’ කියලා දැනගන්නවා. ඇසේ විඤ්ඤාණයත් සැප විඳීම ඇති කරවන ස්පර්ශයත් හේතුවෙනුයි සැප විඳීම උපදින්නේ. ඒ වගේම ඇසින් රූපයක් දැකලා මේ විදිහට ‘මේක අමනාපයි නොවැ’ කියලා දැනගන්නවා. ඇසේ විඤ්ඤාණයත් දුක් විඳීම ඇති කරවන ස්පර්ශයත් හේතුවෙනුයි දුක් විඳීම උපදින්නේ. ඒ වගේම ඇසින් රූපයක් දැකලා මේ විදිහට ‘මේක උපේක්ෂාවක් නොවැ’ කියලා දැනගන්නවා. ඇසේ විඤ්ඤාණයත් දුක් සැප රහිත විඳීම ඇති කරවන ස්පර්ශයත් හේතුවෙනුයි දුක් සැප රහිත විඳීම උපදින්නේ.

නැවත අනිකක් කියනවා නම් පින්වත් ගෘහපතිය, භික්ෂුව කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් දැනගෙන මේ විදිහට ‘මේක මනාපයි නොවැ’ කියලා දැනගන්නවා. මනසේ විඤ්ඤාණයත් සැප විඳීම ඇති කරවන ස්පර්ශයත් හේතුවෙනුයි සැප විඳීම උපදින්නේ. ඒ වගේම මනසින් අරමුණක් දැනගෙන මේ විදිහට ‘මේක අමනාපයි නොවැ’ කියලා දැනගන්නවා. මනසේ විඤ්ඤාණයත් දුක් විඳීම ඇති කරවන ස්පර්ශයත් හේතුවෙනුයි දුක් විඳීම උපදින්නේ. ඒ වගේම මනසින් අරමුණක් දැනගෙන මේ විදිහට ‘මේක උපේක්ෂාවක් නොවැ’ කියලා දැනගන්නවා. මනසේ විඤ්ඤාණයත් දුක් සැප රහිත විඳීම ඇති කරවන ස්පර්ශයත් හේතුවෙනුයි දුක් සැප රහිත විඳීම උපදින්නේ. පින්වත් ගෘහපතිය, ධාතු විවිධත්වය හේතුවෙන් ස්පර්ශයේ විවිධත්වය ඇති වන්නේ, ස්පර්ශයේ විවිධත්වය හේතුවෙන් විඳීම්වල විවිධත්වය ඇති වන්නේ ඔය ආකාරයටයි.

සාදු! සාදු!! සාදු!!!

හාලිද්දකානි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-13-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M