සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.13.6. ඝෝසිත සුත්තං

1.13.6. ඝෝෂිත ගෘහපතියා අරභයා වදාළ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. එදා ඝෝෂිත ගෘහපතිතුමා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඝෝෂිත ගෘහපතිතුමා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගෙන් මෙකරුණ විමසා සිටියා. ස්වාමීනී, ආනන්දයන් වහන්ස, “ධාතුවල විවිධත්වය, ධාතුවල විවිධත්වය” කියලා කියනවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතුවල විවිධත්වය කියලා වදාරණ ලද්දේ කවර පදනමක් මතද?

පින්වත් ගෘහපතිය, ඇස නම් වූ ධාතු ස්වභාවයක් විද්‍යමානව තියෙනවා. ඒ වගේම සිත් ගන්නා රූපත්, ඇසේ විඤ්ඤාණයත් තියෙනවා. සැප විඳීම ඇති කරවන ස්පර්ශය හේතුවෙන් සැප විඳීම ඇති වෙනවා.

පින්වත් ගෘහපතිය, ඇස නම් වූ ධාතු ස්වභාවයක් විද්‍යමානව තියෙනවා. ඒ වගේම අමනාප රූපත්, ඇසේ විඤ්ඤාණයත් තියෙනවා. දුක් විඳීම ඇති කරවන ස්පර්ශය හේතුවෙන් දුක් විඳීම ඇති වෙනවා.

පින්වත් ගෘහපතිය ඇස නම් වූ ධාතු ස්වභාවයක් විද්‍යමානව තියෙනවා. ඒ වගේම උපේක්ෂාව ඇති වන රූපත්, ඇසේ විඤ්ඤාණයත් තියෙනවා. දුක් සැප රහිත විඳීම ඇති කරවන ස්පර්ශය හේතුවෙන් දුක් සැප රහිත විඳීම ඇති වෙනවා.

පින්වත් ගෘහපතිය, කන නම් වූ ධාතු ස්වභාවයක් විද්‍යමානව තියෙනවා ….(පෙ)…. පින්වත් ගෘහපතිය, නාසය නම් වූ ධාතු ස්වභාවයක් විද්‍යමානව තියෙනවා ….(පෙ)…. පින්වත් ගෘහපතිය, දිව නම් වූ ධාතු ස්වභාවයක් විද්‍යමානව තියෙනවා. ඒ වගේම සිත් ගන්නා රසත්, දිවේ විඤ්ඤාණයත් තියෙනවා. සැප විඳීම ඇති කරවන ස්පර්ශය හේතුවෙන් සැප විඳීම ඇති වෙනවා.

පින්වත් ගෘහපතිය, දිව නම් වූ ධාතු ස්වභාවයක් විද්‍යමානව තියෙනවා. ඒ වගේම අමනාප රසත්, දිවේ විඤ්ඤාණයත් තියෙනවා. දුක් විඳීම ඇති කරවන ස්පර්ශය හේතුවෙන් දුක් විඳීම ඇති වෙනවා.

පින්වත් ගෘහපතිය, දිව නම් වූ ධාතු ස්වභාවයක් විද්‍යමානව තියෙනවා. ඒ වගේම උපේක්ෂාව ඇති වන රසත්, දිවේ විඤ්ඤාණයත් තියෙනවා. දුක් සැප රහිත විඳීම ඇති කරවන ස්පර්ශය හේතුවෙන් දුක් සැප රහිත විඳීම ඇති වෙනවා.

පින්වත් ගෘහපතිය, කය නම් වූ ධාතු ස්වභාවයක් විද්‍යමානව තියෙනවා ….(පෙ)…. පින්වත් ගෘහපතිය, මනස නම් වූ ධාතු ස්වභාවයක් විද්‍යමානව තියෙනවා. ඒ වගේම සිත් ගන්නා අරමුණුත්, මනසේ විඤ්ඤාණයත් තියෙනවා. සැප විඳීම ඇති කරවන ස්පර්ශය හේතුවෙන් සැප විඳීම ඇති වෙනවා.

පින්වත් ගෘහපතිය, මනස නම් වූ ධාතු ස්වභාවයක් විද්‍යමානව තියෙනවා. ඒ වගේම අමනාප අරමුණුත්, මනසේ විඤ්ඤාණයත් තියෙනවා. දුක් විඳීම ඇති කරවන ස්පර්ශය හේතුවෙන් දුක් විඳීම ඇති වෙනවා.

පින්වත් ගෘහපතිය, මනස නම් වූ ධාතු ස්වභාවයක් විද්‍යමානව තියෙනවා. ඒ වගේම උපේක්ෂාව ඇති වන අරමුණුත්, මනසේ විඤ්ඤාණයත් තියෙනවා. දුක් සැප රහිත විඳීම ඇති කරවන ස්පර්ශය හේතුවෙන් දුක් සැප රහිත විඳීම ඇති වෙනවා. පින්වත් ගෘහපතිය, ධාතු විවිධත්වය භාග්‍යවතුන් වහන්සේ විසින් ඔපමණකිනුයි වදාරණ ලද්දේ.

සාදු! සාදු!! සාදු!!!

ඝෝසිත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-13-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M