160. සැවැත් නුවර දී ………………….
එදා ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘මාරයා, මාරයා’ යැයි කියනවා. ස්වාමීනි, කුමන කරුණු මතද මාරයා වෙන්නේ?”
“පින්වත් රාධ, රූපයක් තිබුණොත් මාරයා ඉන්නවා. එහෙම නැත්නම් මරවන කෙනෙක් ඉන්නවා. එක්කෝ ඔහු මිය යනවා. පින්වත් රාධය, එම නිසා ඔබ මාරයා වශයෙන් රූපය දකින්න. මරවන කෙනා වශයෙනුත් රූපය දකින්න. මිය යෑම වශයෙනුත් රූපය දකින්න. රෝගය වශයෙනුත් රූපය දකින්න. සැරව ගෙඩියක් වශයෙනුත් රූපය දකින්න. හුලක් වශයෙනුත් රූපය දකින්න. පීඩාවක් වශයෙනුත් රූපය දකින්න. පීඩාවට පත් දෙය වශයෙනුත් රූපය දකින්න. යම් කෙනෙක් ඒ රූපය ඔය ආකාරයෙන් දකිනවා නම්, ඒ උදවිය මැනැවින් ම දකිනවා.
විඳීමක් තිබුණොත් මාරයා ඉන්නවා. එහෙම නැත්නම් මරවන කෙනෙක් ඉන්නවා. එක්කෝ ඔහු මිය යනවා. පින්වත් රාධය, එම නිසා ඔබ මාරයා වශයෙන් විඳීම දකින්න. මරවන කෙනා වශයෙනුත් විඳීම දකින්න. මිය යෑම වශයෙනුත් විඳීම දකින්න …. (පෙ) …. යම් කෙනෙක් ඒ විඳීම ඔය ආකාරයෙන් දකිනවා නම්, ඒ උදවිය මැනැවින් ම දකිනවා. සඤ්ඤාවක් තිබුණොත් …. (පෙ) …. සංස්කාර තිබුණොත් මාරයා ඉන්නවා. එහෙම නැත්නම් මරවන කෙනෙක් ඉන්නවා. එක්කෝ ඔහු මිය යනවා. පින්වත් රාධය, එම නිසා ඔබ මාරයා වශයෙන් සංස්කාර දකින්න. මරවන කෙනා වශයෙනුත් සංස්කාර දකින්න. මිය යෑම වශයෙනුත් සංස්කාර දකින්න …. (පෙ) …. යම් කෙනෙක් ඒ සංස්කාර ඔය ආකාරයෙන් දකිනවා නම්, ඒ උදවිය මැනැවින් ම දකිනවා. විඤ්ඤාණයක් තිබුණොත් මාරයා ඉන්නවා. එහෙම නැත්නම් මරවන කෙනෙක් ඉන්නවා. එක්කෝ ඔහු මිය යනවා. පින්වත් රාධය, එම නිසා ඔබ මාරයා වශයෙන් විඤ්ඤාණය දකින්න. මරවන කෙනා වශයෙනුත් විඤ්ඤාණය දකින්න. මිය යෑම වශයෙනුත් විඤ්ඤාණය දකින්න. රෝගය වශයෙනුත් විඤ්ඤාණය දකින්න. සැරව ගෙඩියක් වශයෙනුත් විඤ්ඤාණය දකින්න. හුලක් වශයෙනුත් විඤ්ඤාණය දකින්න. පීඩාවක් වශයෙනුත් විඤ්ඤාණය දකින්න. පීඩාවට පත් දෙය වශයෙනුත් විඤ්ඤාණය දකින්න. යම් කෙනෙක් ඒ විඤ්ඤාණය ඔය ආකාරයෙන් දකිනවා නම්, ඒ උදවිය මැනැවින් ම දකිනවා.”
“ස්වාමීනි, මැනැවින් ම දැකීම තුළින් මොන වගේ අරුතක්ද සැළසෙන්නේ?”
“පින්වත් රාධ, මැනැවින් දැකීම තුළින් අවබෝධයෙන් කළකිරීම යන අරුත ඇතිවෙනවා.”
“ස්වාමීනි, අවබෝධයෙන් කළකිරීම තුළින් මොන වගේ අරුතක්ද සැළසෙන්නේ?”
“පින්වත් රාධ, අවබෝධයෙන් කළකිරීම තුළින් නොඇලීමේ අරුත ඇති වෙනවා.”
“ස්වාමීනි, නොඇලීම තුළින් මොන වගේ අරුතක්ද සැළසෙන්නේ?”
“පින්වත් රාධ, නොඇලීම තුළින් නිදහස් වීම යන අරුත ඇතිවෙනවා.”
“ස්වාමීනි, නිදහස් වීම තුළින් මොන වගේ අරුතක්ද සැළසෙන්නේ?”
“පින්වත් රාධ, නිදහස් වීම තුළින් ඒ අමා නිවන යන අරුත ඇතිවෙනවා.”
“ස්වාමීනි, ඒ අමා නිවන තුළින් මොන වගේ අරුතක්ද සැළසෙන්නේ?”
“පින්වත් රාධයෙනි, ප්‍රශ්නය සීමාව ඉක්මවා ගියා. ප්‍රශ්නයෙහි කෙළවර අල්ල ගන්නට බැරි වුණා නේද? පින්වත් රාධයෙනි, ඒ අමා නිවනට බැසගෙන ම යි, ඒ අමා නිවන පිළිසරණ කොට ම යි, ඒ අමා නිවනින් නිමා වීම පිණිස ම යි මේ මාර්ග බ්‍රහ්මචරියාව තිබෙන්නේ.”
සාදු! සාදු!! සාදු!!!
මාර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M