159. සැවැත් නුවර දී ……………………
එදා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ආනන්දයන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “ස්වාමීනි, ඒ මං භාග්‍යවතුන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අසාගෙන, හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරිය ඇතිව, දහමට දිවි පුදා වාසය කරනවා නම්, ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ මට සංක්ෂේපයෙන් ධර්මය දේශනා කොට වදාරණ සේක් නම් ඉතා හොඳ ය” කියලා.
“පින්වත් ආනන්ද, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”
“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් එය ‘මගේ’ කියා හෝ එය ‘මම වෙමි’ කියා හෝ එය ‘මගේ ආත්මය’ කියා හෝ මුලාවෙන් දකින එක සුදුසුද?” “ස්වාමීනි, එය සුදුසු නෑ ම යි.”
“එහෙම නම් පින්වත් ආනන්ද, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්න පුළුවනි, බාහිර රූපයක් වෙන්න පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්න පුළුවනි, සියුම් රූපයක් වෙන්න පුළුවනි, හීන රූපයක් වෙන්න පුළුවනි, උසස් රූපයක් වෙන්න පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්න පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්න පුළුවනි, ඒ සෑම රූපයක් ම ‘මගේ නොවන බව, මම වෙමියි නොවන බව, මගේ ආත්මය නොවන බව’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකගන්නට ඕන. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇද්ද …. (පෙ) …. ආනන්ද, අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක් ම …. (පෙ) ….
පින්වත් ආනන්ද, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට රූපය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන් ම කළකිරෙනවා. අවබෝධයෙන් ම කළකිරුණු විට සිත ඇලෙන්නෙ නැතුව යනවා. සිත නොඇලෙන කොට එයින් සිත නිදහස් වෙනවා. සිත් නිදහස් වෙන කොට ම ‘නිදහස් වුණා’ කියලා අවබෝධ ඥානය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ආනන්ද සූත්‍රය නිමා විය.
පස්වෙනි දිට්ඨි වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි:
අජ්ඣත්ත සූත්‍රය, ඒතං මම සූත්‍රය, සෝ අත්තා සූත්‍රය, නෝ ච මේ සියා සූත්‍රය, මිච්ඡාදිට්ඨි සූත්‍රය, සක්කායදිට්ඨි සූත්‍රය, අත්තානුදිට්ඨි සූත්‍රය, අභිනිවේස සූත්‍ර දෙක, ආනන්ද සූත්‍රය යන මෙයින් මේ වර්ගය සමන්විතයි.
උපරි පණ්ණාසකය සමාප්තයි.
ඒ උපරි පණ්ණාසකයෙහි වර්ගයන්ගේ පිළිවෙල උද්දානයයි.
අත්ත වර්ගය, ධම්මකථික වර්ගය, අවිජ්ජා වර්ගය, කුක්කුල වර්ගය හා පස්වෙනි දිට්ඨි වර්ගය යන මෙයින් තුන්වෙනි පණ්ණාසකය කියන ලදී. එනිසා නිපාතය යයි ද කියනු ලැබේ.
ඛන්ධක වර්ගයට අයත් නිපාතයෙහි පණ්ණාසක තුන සමාප්තයි.
ඛන්ධ සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M