70. සැවැත් නුවරදී ……….
එකල්හී එක්තරා භික්ෂුවක් ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේප වශයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනැවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා දැනගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරිය ඇතිව, දහමට දිවි පුදා වාසය කරන්නට පුළුවනි.”
“පින්වත් භික්ෂුව, යමක් කෙලෙස් හටගන්නා ස්වභාවයෙන් පිහිටලා තියෙනවා නම්, ඒ කෙලෙස් හටගන්නා ස්වභාවයෙන් පිහිටි දේ පිළිබඳව ඔබ තුළ ඇති කැමැත්ත ප්‍රහාණය කළ යුතුයි.”
“භාග්‍යවතුන් වහන්ස, මට අවබෝධ වුණා. සුගතයන් වහන්ස, මට අවබෝධ වුණා.”
“පින්වත් භික්ෂුව, මා විසින් සංක්ෂේප වශයෙන් පවසන ලද ධර්මය, ඔබ විසින් විස්තර වශයෙන් අරුත් අවබෝධ කරගත්තේ කොයි විදිහටද?”
“ස්වාමීනී, රූපය කෙලෙස් හටගන්නා ස්වභාවයෙන් පිහිටි දෙයක්. රූපය කෙරෙහි ඇති මගේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. වේදනාව කෙලෙස් හටගන්නා ස්වභාවයෙන් පිහිටි දෙයක් ….(පෙ)…. සඤ්ඤාව කෙලෙස් හටගන්නා ස්වභාවයෙන් දෙයක් ….(පෙ)…. සංස්කාර කෙලෙස් හටගන්නා ස්වභාවයෙන් දෙයක් ….(පෙ)…. විඤ්ඤාණය කෙලෙස් හටගන්නා ස්වභාවයෙන් දෙයක්. විඤ්ඤාණය කෙරෙහි ඇති මගේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේප වශයෙන් වදාරණ ලද්දා වූ ධර්මය, මං ඔන්න ඔය ආකාරයටයි විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත්තේ.”
“ඉතා හොඳයි, පින්වත් භික්ෂුව, ඉතා හොඳයි. පින්වත් භික්ෂුව මා විසින් සංක්ෂේප වශයෙන් පවසන ලද ධර්මය, ඔබ විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත් අයුරු ඉතාමත් යහපත් ය. පින්වත් භික්ෂුව, රූපය කෙලෙස් හටගන්නා ස්වභාවයෙන් පිහිටි දෙයක්. රූපය කෙරෙහි ඇති ඔබේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. වේදනාව කෙලෙස් හටගන්නා ස්වභාවයෙන් පිහිටි දෙයක් ….(පෙ)…. සඤ්ඤාව කෙලෙස් හටගන්නා ස්වභාවයෙන් පිහිටි දෙයක් ….(පෙ)…. සංස්කාර කෙලෙස් හටගන්නා ස්වභාවයෙන් පිහිටි දෙයක් ….(පෙ)…. විඤ්ඤාණය කෙලෙස් හටගන්නා ස්වභාවයෙන් පිහිටි දෙයක්. විඤ්ඤාණය කෙරෙහි ඇති ඔබේ කැමැත්තයි දුරු කරගත යුත්තේ. පින්වත් භික්ෂුව, මා විසින් සංක්ෂේප වශයෙන් වදාරණ ලද්දා වූ ධර්මය, ඔබ විස්තර වශයෙන් අර්ථාවබෝධ කරගත යුත්තේ ඔය විදිහට තමයි.”
එතකොට ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මාවවාදය සතුටින් පිළි අරගත්තා. සතුටින් අනුමෝදන් වුණා. ආසනයෙන් නැගිටලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැදකුණු කරලා පිටත් වෙලා ගියා. ඉතින් ඒ භික්ෂුව හුදෙකලා වුණා. පිරිසෙන් වෙන් වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුණා. දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන කොට යම් කුලපුත්‍රයෙක් යම්කිසි බලාපොරොත්තුවකින් ගිහි ජීවිතය අත්හැරලා බුදු සසුනේ පැවිදි වුණාද, අන්න ඒ උත්තරීතර බඹසර පූර්ණත්වය වන අමා නිවන මේ ජීවිතයෙහිදීම විශේෂ ඤාණයකින් යුතුව අවබෝධ කරගෙන එයට පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. ආයෙමත් නම් වෙන උපතක් නැතැ’යි අවබෝධ වුණා. ඒ භික්ෂුව එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.
සාදු! සාදු!! සාදු!!!
රජනීය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M