ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් ද, ආයුෂ්මත් මොග්ගල්ලාන තෙරුන් ද වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන් ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ. එදා ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් ලඟට වැඩියා. වැඩලා ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් සමග පිළිසඳර කතා-බහේ යෙදුණා …. (පෙ) …. එකත්පස්ව වැඩහුන් ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් ගෙන් මෙහෙම ඇහුවා. “ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, ඔබේ ඉන්ද්‍රියයන් ඉතාමත් ප්‍රසන්නයි. මුහුණේ පැහැය පිරිසිදුයි. ප්‍රභාශ්වරයි. අද නම් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ඒකාන්තයෙන් ම ශාන්ත විහරණයකින් කල් ගෙවලා තියෙනවා.”
“ප්‍රිය ආයුෂ්මත, මං අද වාසය කළේ ගොරෝසු විහරණයකින්. නමුත් මං ධර්ම කතාවක යෙදිලයි හිටියේ.”
“ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ධර්ම කතාවේ යෙදිල හිටියේ කවුරුන් සමග ද?” “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මං ධර්ම කතාවේ යෙදිල හිටියේ භාග්‍යවතුන් වහන්සේ සමගයි.”
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මේ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින්නේ සැවැත් නුවර ජේතවනයේ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ නෙව. ඉතින් ඇත්තෙන් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් භාග්‍යවතුන් වහන්සේ ලඟට ඉර්ධියෙන් වැඩියාද? එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් ලඟට ඉර්ධියෙන් වැඩියාද?”
“ප්‍රිය ආයුෂ්මත, ඇත්තෙන් ම මං භාග්‍යවතුන් වහන්සේ ලඟට ඉර්ධියෙන් වැඩියෙ නෑ. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ මං ලඟට ඉර්ධියෙන් වැඩියෙත් නෑ. නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ යම් තාක් දුරින් ද ඒ තාක් දුරින් ම මගේ දිවැස් නුවණත්, දිව්‍ය ශ්‍රවණයත් පිරිසිදු වෙලා තිබුණා. ඒ වගේ ම මං යම් තාක් දුර සිටියා ද ඒ තාක් දුරට ම භාග්‍යවතුන් වහන්සේ ගේ දිවැස් නුවණත් දිව්‍ය ශ්‍රවණයත් පිරිසිදු වෙලා තිබුණා.”
“භාග්‍යවතුන් වහන්සේ සමග ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේ ගේ ධර්ම කතාව සිදු වුණේ කොයි ආකාරයෙන් ද?”
“ප්‍රිය ආයුෂ්මත, මම භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙහෙම ඇහුවා. ‘ස්වාමීනි, පටන්ගත් වීර්යය ඇති කෙනා, පටන්ගත් වීර්යය ඇති කෙනා කියල කියනවා. පටන්ගත් වීර්යය ඇති කෙනා කියල කියන්නේ කොපමණ කරුණු මත ද?’ ඔය විදිහට ඇසුවා ම ප්‍රිය ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම වදාළා. ‘පින්වත් මොග්ගල්ලාන, මෙහි භික්ෂුව පටන් ගත් වීර්යය ඇති කෙනෙක් වෙලා ඉන්නවා. ඒකාන්තයෙන් ම මේ සිරුරෙහි සමත් නහරත් ඇටත් ඉතිරි වේවා! ලේ මස් වියැලේවා! පුරුෂ වීර්යයෙන් පුරුෂ ධෛර්යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමක් ලබා ගත යුතු නම් ඒ දෙය ලබා නොගෙන මේ වීර්යය නම් අත්හරින්නේ නෑ කියල. පින්වත් මොග්ගල්ලාන, ඔන්න ඔය විදිහටයි පටන් ගත් වීර්යය ඇති කෙනෙක් හැටියට වාසය කරන්නේ.’
ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ සමග ධර්ම කතාව කළේ ඔන්න ඔය විදිහට යි.”
“ප්‍රිය ආයුෂ්මතුනි, පුංචි ගල් කැටයක් හිමාල පර්වත රාජයා සමඟ සසඳා බලන්නට හැදීමක් ඇද්ද අපිත් ප්‍රිය ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් ගේ ඉර්ධි බලය ගැන අපේ ඉර්ධි විෂයත් සමග සසඳන්නට යෑමත් අන්න ඒ වගේ තමයි. ඇත්තෙන් ම ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ මහා ඉර්ධිමත්. මහා ආනුභාව සම්පන්නයි. ඕන කමක් තියෙනවා නම් කල්පයක් වුණත් ඉන්නට පුළුවනි.”
“ප්‍රිය ආයුෂ්මතුනි, චූටි ලුණු කැටයක් සුවිශාල ලුණු භාජනයක් සමඟ සසඳා බලන්නට හැදීමක් ඇද්ද අපිත් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් ගේ ප්‍රඥා මහිමය ගැන අපේ ප්‍රඥාව සමග සසඳන්නට යෑමත් අන්න ඒ වගේ ම තමයි. ඇත්තෙන් ම ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ස්තුති දක්වලා තිබෙනවා. වර්ණනා කරල තිබෙනවා. ප්‍රශංසා කරල තිබෙනවා.
ප්‍රඥාවෙනුත් සීලයෙනුත් සංසිඳීමෙනුත් සාරිපුත්තයන් වහන්සේ ම යි ශ්‍රේෂ්ඨ වන්නේ. සංසාරෙන් එතෙරට වැඩි යම් භික්ෂුවක් ඇත්නම් ඒ භික්ෂූන් අතර උත්තරීතර වන්නේ සාරිපුත්තයන් වහන්සේ ම යි.”
ඔය ආකාරයෙන් ඒ මහ රහතන් වහන්සේලා දෙනම විසින් ඉතා යහපත් ලෙස පවසන ලද සුභාෂිතය ඔවුනොවුන් විසින් සතුටින් අනුමෝදන් වුණා.
සාදු! සාදු!! සාදු!!!
මහා නාග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_9-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M