388. සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දුනුවායෝ හතර දෙනෙක් ඉන්නවා. ශක්තිමත් දුනු දරනවා. හොඳට පුහුණු වෙලා ඉන්නේ. අතිශයින්ම දක්ෂයි. ඉතින් ඒ දුනුවායන් හතර දෙනා එක තැනක හිට ගෙන සිව් දිශාවට හැරිල ඉන්නවා. එතකොට එතැනට පුරුෂයෙක් එනවා. ඔහු මෙහෙම හිතනවා. ශක්තිමත් දුනු දරන, හොඳට පුහුණු වෙලා ඉන්න, අතිශයන් ම දක්ෂ වූ මේ දුනුවායන් හතර දෙනා හතර දිශාවට ඊතල හතරක් විද්දොත්, ඒ ඊතල හතර පොළොවට වැටෙන්නට කලින් මං අරගෙන එනවා කියල. පින්වත් මහණෙනි, ඔබ මොකක් ද ඒ ගැන හිතන්නේ? ඒ විදිහට දුවන්න පුළුවන් වූ අර පුරුෂයා අතිශයන් ම වේගවත් ජවයකින් යුතු යි කියල කියන්නට වටිනවා නේද?
ස්වාමීනි, ශක්තිමත් දුනු දරන, හොඳට පුහුණු වෙලා ඉන්න, අතිශයින් ම දක්ෂ එක ම එක දුනුවායෙක් ඊතලයක් විදිද්දී ඒ ඊතලය පොළොවට වැටෙන්නට කලින් අරගෙන එන්ට පුළුවන් පුරුෂයෙක් ඉන්නවා නම්, ඔහු අතිශයින් ම වේගවත් ජවයකින් යුතු කෙනෙක් ය කියල කියන්නට වටිනවා. එහෙම එකේ ශක්තිමත් දුනු දරන, හොඳට පුහුණු වෙලා ඉන්න, අතිශයින් ම දක්ෂ දුනුවායන් හතර දෙනෙක් විදින ලද ඊතල පොළොවට වැටෙන්නට කලින් අරගෙන එන ජවසම්පන්නකම ගැන කවර කතා ද?
පින්වත් මහණෙනි, අන්න ඒ පුරුෂයා ගේ යම් ආකාර ජවසම්පන්නකමක් තියෙනවා නම් ඊටත් වඩා බලවත් ජවසම්පන්නකමක් හිරු සඳු දෙකේ තියෙනවා. පින්වත් මහණෙනි, ඒ පුරුෂයා ගේ ජවසම්පන්නකමක් හිරු සඳු දෙකේ ජවසම්පන්නකමත් යම් ආකාරයකින් යුක්ත ද ඊට වඩා බලවත් ජවසම්පන්නකමක් සඳු හිරු දෙදෙනාට පෙරටුවෙන් යන දෙවිවරුන්ට තියෙනවා. පින්වත් මහණෙනි, අර පුරුෂයා ගේ ජවසම්පන්නකමත්, හිරු සඳුගේ ජවසම්පන්නකමත්, හිරුට සඳුට පෙරටුව යන දෙවිවරුන් ගේ බලසම්පන්නකමත් යම් ආකාරයකින් යුක්තද ඊටත් වඩා වේගවත්කමකින් උපන් සත්වයා ගේ ආයුෂ ක්ෂය වෙලා යනවා.
එම නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට යි ඔබ හික්මෙන්නට ඕන. අපි නම් අප්‍රමාදීව ධර්මයේ ම යි හැසිරෙන්නෙ කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට යි ඔබ හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
ධනුග්ගහ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_8-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M