රජගහ නුවරදී ……………
එදා ආයුෂ්මත් මහා කස්සප තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩියා. වැඩලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ආයුෂ්මත් මහා කස්සප තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. “පින්වත් කස්සප, භික්ෂුන්ට අවවාද කරන්න. පින්වත් කස්සප, භික්ෂූන්ට ධර්ම කථාව කරන්න. පින්වත් කස්සප, එක්කෝ මම භික්ෂූන්ට අවවාද කරන්නම්. එහෙම නැත්නම් ඔබ භික්ෂූන්ට අවවාද කරන්න. පින්වත් කස්සප, මම භික්ෂූන්ට ධර්ම කථාව කරන්නම්. එක්කො ඔබ භික්ෂූන්ට ධර්ම කථා කරන්න.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් කාලෙ භික්ෂූන් අකීකරුයි. අකීකරු බව ඇති කරන දෙයින් ම යි යුක්ත වෙලා ඉන්නේ. අවවාද රුස්සන්නේ නෑ. අනුශාසනාව ගන්නේ නුහුරටමයි. ස්වාමීනි, මම මෙහිදී දැක්කා ආනන්දයන්ගේ ශිෂ්‍ය නමක් ඉන්නවා භණ්ඩු නමින්. අනුරුද්ධයන්ගේ ශිෂ්‍ය නමක් ඉන්නවා ආභිඤ්ජික නමින්. ඉතින් මේ දෙන්නා තමන්ගේ දහම් දැනුමෙන් එකිනෙකා ඉක්මවා යන්න හදනවා. ‘හා! මෙහෙ එන්න භික්ෂුව. බොහෝ කොට ධර්මය කියන්නේ කවුද කියල බලමු. ලස්සනට ධර්මය කියන්නේ කවුද කියල බලමු. බොහෝ වෙලාවක් ධර්මය කියන්නේ කවුදැයි බලමු’ කියල.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් අමතා වදාළා. “පින්වත් භික්ෂුව මෙහෙ එන්න. මගේ වචනයෙන් ආනන්දයන්ගේ ශිෂ්‍යයෙකු වූ භණ්ඩු භික්ෂුවටත්, අනුරුද්ධයන්ගේ ශිෂ්‍යයෙකු වූ ආභිඤ්ජික භික්ෂුවටත් කියන්න ‘අන්න ආයුෂ්මතුන්ට ශාස්තෘන් වහන්සේ අමතනවා’ කියල.” “එසේය ස්වාමීනි” කියල ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා ඒ භික්ෂූන් ළඟට ගියා. ගිහින් ඒ භික්ෂූන්ට මේ කරුණ කිව්වා. “අන්න, ආයුෂ්මතුන්ට ශාස්තෘන් වහන්සේ අමතනවා” කියල. එතකොට ඒ භික්ෂුන් “එසේය ප්‍රිය ආයුෂ්මතුනි” කියල අර භික්ෂුවට පිළිතුරු දීලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ඒ භික්ෂූන් ගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ අසා වදාළා. “පින්වත් මහණෙනි, මේ කතාව ඇත්තක්ද? ‘ඔබ මෙහෙ එන්න භික්ෂුව. බොහෝ කොට ධර්මය කියන්නේ කවුද කියල බලමු. ලස්සනට ධර්මය කියන්නේ කවුද කියල බලමු. බොහෝ වෙලාවක් ධර්මය කියන්නේ කවුද කියල’ එකිනෙකා දහම් දැනුමෙන් ඉක්මවා යන්න හදනවා කියන්නේ?” “එහෙමයි ස්වාමීනි”
“පින්වත් මහණෙනි, ‘ඔබ මෙහෙ එන්න භික්ෂුව. බොහෝ කොට ධර්මය කියන්නේ කවුද කියල බලමු. ලස්සනට ධර්මය කියන්නේ කවුද කියල බලමු. බොහෝ වෙලාවක් ධර්මය කියන්නේ කවුද කියල එකිනෙකා දහම් දැනුමෙන් ඉක්මවා යන්න හදන්නේ. ඇයි මා විසින් එබඳු ධර්මයක් ඔබට දෙසූ බවක් දන්නවා ද?”
“අනේ! නෑ ස්වාමීනී” “එහෙම නම් පින්වත් මහණෙනි, මා විසින් එබඳු ධර්මයක් ඔබට නොදෙසු බව දන්නවා නම්, හිස් මිනිසුනි, මේ මනා කොට දේශනා කරන ලද ධර්ම විනයක් තිබෙන සසුනක පැවිදි වෙලා මොකක් දැනගෙනද? මොකක් දැකගෙනද? එකිනෙකා දහම් දැනුමින් ඉක්මවා යන්න හදන්නේ? ‘ඔබ මෙහෙ එන්න භික්ෂුව. බොහෝ කොට ධර්මය කියන්නේ කවුද කියල බලමු. ලස්සනට ධර්මය කියන්නේ කවුද කියල බලමු. බොහෝ වෙලාවක් ධර්මය කියන්නේ කවුදැයි බලමු’ කියල.”
එතකොට ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා යුග අභියස සිරසින් වැඳ වැටී භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, වරද විසින් අපව යට කරගෙන ගියා. බාලයන් වගේ මෝඩයන් වගේ අකුසල් කරන උදවිය වගේ අපවත් වරද විසින් යට කරගෙන ගියා. මනා කොට දේශනා කරන ලද ධර්ම විනය පවතින මෙබඳු සසුනක පැවිදි වෙලා අපි එකිනෙකා දහම් දැනුමෙන් ඉක්මවා යන්න හිතුවා. ‘මෙහෙ එන්න භික්ෂුව. බොහෝ කොට ධර්මය කියන්නේ කවුද කියල බලමු. ලස්සනට ධර්මය කියන්නේ කවුද කියල බලමු. බොහෝ වෙලාවක් ධර්මය කියන්නේ කවුදැයි බලමු’ කියල. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අපගේ ඉදිරි සංවරය පිණිස මේ වරද, වරද වශයෙන් ම පිළිගන්නා සේක්වා!”
“පින්වත් මහණෙනි, ඇත්තෙන් ම මනා කොට දේශන කරන ලද ධර්ම විනය පවතින මෙබඳු සසුනක පැවිදි වෙලා ඔබ එකිනෙකා දහම් දැනුමෙන් ඉක්මවා යන්න හිතුවා. ‘මෙහෙ එන්න භික්ෂුව. බොහෝ කොට ධර්මය කියන්නේ කවුද කියල බලමු. ලස්සනට ධර්මය කියන්නේ කවුද කියල බලමු. බොහෝ වෙලාවක් ධර්මය කියන්නේ කවුදැයි බලමු’ කියල. පින්වත් මහණෙනි, ඔබ යම් දවසක වරද, වරද වශයෙන්ම දැකල එයට ධර්මානුකූල පිළියම් යොදනවා නම් අපි ඔබගේ ඒ වරද පිළිගන්නවා. පින්වත් මහණෙනි, යමෙක් වරද, වරද වශයෙන් ම පිළිඅරගෙන ඉදිරි සංවරය පිණිස එයට ධර්මානුකූලව පිළියම් යොදනවා නම් ඒක ආර්ය විනයෙහි අභිවෘද්ධියක් ම යි.”
සාදු! සාදු!! සාදු!!!
ඕවාද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_4-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M