මා හට අසන්නට ලැබුණේ මේ විදිහට යි. ඒ දිනවල ආයුෂ්මත් මහා කස්සප තෙරුන් ද, ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් ද වාසය කළේ බරණැස ඉසිපතන මිගදායේ. එදා ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් සවස් වරුවේ භාවනාවෙන් නැගිටලා ආයුෂ්මත් මහා කස්සප තෙරුන් ළඟට වැඩියා. වැඩලා ආයුෂ්මත් මහා කස්සප තෙරුන් සමග පිළිසඳර කතා බහේ යෙදුණා. පිළිසඳර කතා බහෙන් පස්සේ එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් ආයුෂ්මත් මහා කස්සප තෙරුන්ගෙන් මෙහෙම ඇහුවා.
“ප්‍රිය ආයුෂ්මත් කස්සප, කෙලෙස් තවන වීර්යයක් නැති කෙනා, පවට භයක් නැති කෙනා ආර්ය සත්‍ය අවබෝධයට නුසුදුස්සෙක් ය, නිවන් අවබෝධයට නුසුදුස්සෙක් ය, අනුත්තර වූ අරහත්වය සාක්ෂාත් කරගන්න නුසුදුස්සෙක් ය කියල කියනවා. ඒ වගේ ම කෙලෙස් තවන වීර්ය ඇති කෙනා ම, පවට භය ඇති කෙනා ම ආර්ය සත්‍ය අවබෝධයට සුදුස්සෙක් ය, නිවන් අවබෝධයට සුදුස්සෙක් ය, අනුත්තර වූ අරහත්වය සාක්ෂාත් කරගන්ට සුදුස්සෙක් ය කියල කියනවා.
ප්‍රිය ආයුෂ්මත් කස්සප, කුමන කරුණු මත ද කෙලෙස් තවන වීර්යයක් නැති කෙනා, පවට භයක් නැති කෙනා ආර්ය සත්‍ය අවබෝධයට නුසුදුස්සෙක් වන්නේ? නිවන් අවබෝධයට නුසුදුස්සෙක් වන්නේ? අනුත්තර වූ අරහත්වය සාක්ෂාත් කරගන්න නුසුදුස්සෙක් වන්නේ? ඒ වගේ ම කුමන කරුණු මත ද කෙලෙස් තවන වීර්ය ඇති කෙනා ම, පවට භය ඇති කෙනා ම ආර්ය සත්‍ය අවබෝධයට සුදුස්සෙක් වන්නේ? නිවන් අවබෝධයට සුදුස්සෙක් වන්නේ? අනුත්තර වූ අරහත්වය සාක්ෂාත් කරගන්ට සුදුස්සෙක් වන්නේ?”
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙහි භික්ෂුව තමා තුළ හට නොගත් පාපී අකුසල ධර්ම හටගන්න කොට මේවා මට අයහපත පිණිස පවතිනවා නේද කියලා බැහැර කිරීමට උත්සාහයක් ගන්නේ නෑ. තමන් තුළ හට අරගෙන තිබෙන පාපී අකුසල ධර්ම ප්‍රහාණය නොවී පැවතීම නිසා තමාට අයහපත පිණිස පවතින බව දැනගෙන එය බැහැර කිරීමට උත්සාහයක් ගන්නේ නෑ. තමා තුළ හට නොගත් උතුම් කුසල ධර්ම තමා තුළ හට නොගැනීම ගැන තේරුම්ගෙන ඒවා උපදවා ගැනීමට උත්සාහයක් ගන්නේ නෑ. තමා තුළ හට අරගෙන තිබෙන උතුම් කුසල ධර්ම නැති වෙන කොට ඒක තමාට අහිත පිණිස පවතිනවා නේද කියලා තේරුම් ගෙන ඒවා රැකගන්න උත්සාහයක් ගන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කෙලෙස් තවන වීරියෙන් තොරයි කියන්නේ ඔන්න ඕකටයි.”
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, පවට භයක් නැති වන්නේ කුමන කරුණු මතද?”
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙහි භික්ෂුව තමා තුළ හට නො ගත් පාපී අකුසල ධර්ම හටගන්න කොට මේවා මට අයහපත පිණිස පවතිනවා නේද කියලා ඒ ගැන භයක් ඇති වන්නේ නෑ. තමන් තුළ හට අරගෙන තිබෙන පාපී අකුසල ධර්ම ප්‍රහාණය නොවී පැවතීම නිසා තමාට අයහපත පිණිස පවතින බව දැන ගෙන ඒ ගැන භයක් ඇති වන්නේ නෑ. තමා තුළ හට නොගත් උතුම් කුසල ධර්ම තමා තුළ හට නොගැනීම ගැන භයක් ඇති වන්නේ නෑ. තමා තුළ හට අරගෙන තිබෙන උතුම් කුසල ධර්ම නැති වෙන කොට ඒක තමාට අහිත පිණිස පවතිනවා නේද කියලා ඒ ගැන භයක් ඇති වන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, පවට භයක් නෑ කියන්නේ ඔන්න ඕකටයි.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔය විදිහටයි කෙලෙස් තවන වීර්යයක් නැති කෙනා, පවට භයක් නැති කෙනා ආර්ය සත්‍ය අවබෝධයට නුසුදුස්සෙක් ය, නිවන් අවබෝධයට නුසුදුස්සෙක් ය, අනුත්තර වූ අරහත්වය සාක්ෂාත් කරගන්න නුසුදුස්සෙක් ය කියල කියන්නේ.”
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කෙලෙස් තවන වීර්යය ඇති කෙනෙක් වන්නේ කොහොමද?”
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙහි භික්ෂුව තමා තුළ හට නොගත් පාපී අකුසල ධර්ම හටගන්න කොට මේවා මට අයහපත පිණිස පවතිනවා නේද කියලා බැහැර කිරීමට උත්සාහයක් ගන්නවා. තමන් තුළ හට අරගෙන තිබෙන පාපී අකුසල ධර්ම ප්‍රහාණය නොවී පැවතීම නිසා තමාට අයහපත පිණිස පවතින බව දැනගෙන එය බැහැර කිරීමට උත්සාහයක් ගන්නවා. තමා තුළ හට නොගත් උතුම් කුසල ධර්ම තමා තුළ හට නොගැනීම ගැන තේරුම් ගෙන ඒවා උපදවා ගැනීමට උත්සාහයක් ගන්නවා. තමා තුළ හට අරගෙන තිබෙන උතුම් කුසල ධර්ම නැති වෙන කොට ඒක තමාට අහිත පිණිස පවතිනවා නේද කියලා තේරුම් ගෙන ඒවා රැකගන්න උත්සාහ ගන්නවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කෙලෙස් තවන වීරියෙන් යුක්තයි කියන්නේ ඔන්න ඕකටයි.”
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, පවට භය ඇති වන්නේ කුමන කරුණු මතද?”
“මෙහි භික්ෂුව තමා තුළ හට නොගත් පාපී අකුසල ධර්ම හටගන්න කොට මේවා මට අයහපත පිණිස පවතිනවා නේද කියලා ඒ ගැන භයක් ඇති වෙනවා. තමන් තුළ හට අරගෙන තිබෙන පාපී අකුසල ධර්ම ප්‍රහාණය නොවී පැවතීම නිසා තමාට අයහපත පිණිස පවතින බව දැනගෙන ඒ ගැන භයක් ඇති වෙනවා. තමා තුළ හට නොගත් උතුම් කුසල ධර්ම තමා තුළ හට නොගැනීම ගැන භයක් ඇති වෙනවා. තමා තුළ හට අරගෙන තිබෙන උතුම් කුසල ධර්ම නැති වෙන කොට ඒක තමාට අහිත පිණිස පවතිනවා නේද කියලා ඒ ගැන භයක් ඇති වෙනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, පවට භය තියෙනවා කියන්නේ ඔන්න ඕකටයි.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කෙලෙස් තවන වීර්ය ඇති කෙනා ම, පවට භය ඇති කෙනා ම ආර්ය සත්‍ය අවබෝධයට සුදුස්සෙක් ය, නිවන් අවබෝධයට සුදුස්සෙක් ය, අනුත්තර වූ අරහත්වය සාක්ෂාත් කරගන්න සුදුස්සෙක් ය කියල කියන්නේ ඔන්න ඕකට යි.”
සාදු! සාදු!! සාදු!!!
අනොත්තාපී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_4-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M