සැවැත් නුවරදී ……………
එදා ආයුෂ්මත් මහා කස්සප තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. …. (පෙ) …. එකත්පස්ව හුන් ආයුෂ්මත් මහා කස්සප තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා.
“ස්වාමීනි, ඉස්සර ශික්ෂා පද ටිකයි තිබුණේ. නමුත් බහුතරයක් භික්ෂූන් වහන්සේලා අරහත් ඵලයේ හිටියා. ඒකට හේතුව මොකක්ද? ඒකට මුල් වුණේ මොකක්ද? එසේ නමුත් ස්වාමීනි, දැන් කාලෙ ශික්ෂා පදත් සෑහෙන්න තියෙනවා. නමුත් භික්ෂුන් ටික දෙනයි අරහත් ඵලයේ පිහිටන්නේ. ඒකට හේතුව මොකක්ද? ඒකට මුල් වුණේ මොකක්ද?”
“පින්වත් කස්සප, ඕක ඔහොම තමයි. සත්වයන් පිරිහෙන කාලෙට සද්ධර්මය අතුරුදහන් වෙන කොට තමයි ශික්ෂාපදත් සෑහෙන්න තියෙන්නේ. එතකොට තමයි භික්ෂූන් ටික දෙනෙක් අරහත් ඵලයේ පිහිටන්නේ.
පින්වත් කස්සප, සද්ධර්මයේ වේශයෙන් අධර්මය ලෝකයේ පහළ නොවන තාක් සද්ධර්මය අතුරුදහන් වෙන්නේ නෑ. එහෙත් පින්වත් කස්සප, යම් දවසක සද්ධර්මයේ වේශයෙන් අධර්මය ලෝකයේ පහළ වුණොත් අන්න එදාට සද්ධර්මය අතුරුදහන් වෙනවා. පින්වත කස්සප, ඒක මේ වගේ දෙයක්. ලෝකයේ රත්තරන් වේශයෙන් රත්තරං නොවන දෙයක් පහළ නොවන තාක් සැබෑ රත්තරන් අතුරුදහන් වෙන්නේ නෑ. නමුත් පින්වත් කස්සප, යම් දවසක රත්තරන් වැනි ම වූ රත්තරන් නොවන දෙයක් ලෝකයේ පහළ වුණොත් එදාට රත්තරන් අතුරුදහන් වෙනවා. පින්වත් කස්සප, මෙයත් ඒ වගේ දෙයක් ම යි. සද්ධර්මයේ වේශයෙන් අධර්මය ලෝකයේ පහළ නොවන තාක් සද්ධර්මය අතුරුදහන් වෙන්නේ නෑ. එහෙත් පින්වත් කස්සප, යම් දවසක සද්ධර්මයේ වේශයෙන් අධර්මය ලෝකයේ පහළ වුණොත් අන්න එදාට සද්ධර්මය අතුරුදහන් වෙනවා.
පින්වත් කස්සප, පඨවි ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ. ආපෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ. තේජෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ. වායෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ. නමුත් යමෙක් මේ සද්ධර්මය අතුරුදහන් කරනවා නම් අන්න ඒ හිස් පුද්ගලයා ඇති වන්නේ මේ සසුන තුළ ම යි.
පින්වත් කස්සප, නැවක බඩු බර වැඩ වීමෙන් ගිලී යන්නේ යම් සේ ද, පින්වත් කස්සප, මේ සද්ධර්මය නම් ඒ ආකාරයෙන් අතුරුදහන් වන්නේ නෑ.
පින්වත් කස්සප, බුදු සසුන පිරිහීමට හේතු වන මේ කරුණු පහ සද්ධර්මය හඳුනා නොගැනීම පිණිසත් අතුරුදහන් වීම පිණිසත් හේතු වෙනවා. මොනවාද ඒ කරුණු පහ?
පින්වත් කස්සප, මේ ශාසනයේ භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකා යන ශ්‍රාවක පිරිස ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැතිව කීකරුකමක් නැතිව ඉන්නවා. ඒ වගේම සද්ධර්මය කෙරෙහි ගෞරවයක් නැතිව කීකරුකමක් නැතිව ඉන්නවා. ඒ වගේ ම ආර්ය ශ්‍රාවක සඟ පිරිස කෙරෙහි ගෞරවයක් නැතිව කීකරුකමක් නැතිව ඉන්නවා. පණවන ලද ශික්ෂා පද කෙරෙහි ගෞරවයක් නැතිව කීකරුකමක් නැතිව ඉන්නවා. සමාධිය කෙරෙහි ගෞරවයක් නැතිව කීකරුකමක් නැතිව ඉන්නවා. පින්වත් කස්සප, බුදු සසුන පිරිහීමට හේතු වන මේ කරුණු පහ සද්ධර්මය හඳුනා නොගැනීම පිණිසත් අතුරුදහන් වීම පිණිසත් හේතු වෙනවා.
පින්වත් කස්සප, බුදු සසුන දියුණු වීමට හේතු වන මේ කරුණු පහ සද්ධර්මය හඳුනා ගැනීම පිණිසත් අතුරුදහන් වීම පිණිසත් හේතු වෙනවා. මොනවාද ඒ කරුණු පහ? පින්වත් කස්සප, මේ සාසනයේ භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකා යන ශ්‍රාවක පිරිස ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්තව කීකරුකමින් යුක්තව ඉන්නවා. ඒ වගේ ම සද්ධර්මය කෙරෙහි ගෞරවයෙන් යුක්තව කීකරුකමින් යුක්තව ඉන්නවා. ඒ වගේ ම ආර්ය ශ්‍රාවක සඟ පිරිස කෙරෙහි ගෞරවයෙන් යුක්තව කීකරුකමින් යුක්තව ඉන්නවා. පණවන ලද ශික්ෂා පද කෙරෙහි ගෞරවයෙන් යුක්තව කීකරුකමින් යුක්තව ඉන්නවා. සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්තව කීකරුකමින් යුක්තව ඉන්නවා. පින්වත් කස්සප, බුදු සසුන දියුණු වීමට හේතු වන මේ කරුණු පහ සද්ධර්මය හඳුනා ගැනීම පිණිසත් අතුරුදහන් නොවීම පිණිසත් හේතු වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සද්ධර්ම පතිරූපක සූත්‍රය නිමා විය.
පළමුවෙනි කස්සප වර්ගය අවසන් විය.
කස්සප සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_4-1-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M