සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

4.1.12. තථාගත පරම්මරණ සුත්තං

4.1.12. රහතුන්ගේ මරණින් පසු ජීවිතය ගැන වදාළ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේත්, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත් වැඩසිටියේ බරණැස ඉසිපතන මිගදායේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සවස් වරුවේ භාවනාවෙන් නැගිටලා ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ වෙත වැඩියා …. (පෙ) …. එකත්පස්ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ ගෙන් මෙහෙම ඇහුවා.

“ප්‍රිය ආයුෂ්මත් කස්සප, රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද?”

“ප්‍රිය ආයුෂ්මත, රහතන් වහන්සේ මරණින් මතු සිටිති යි යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.”

“ප්‍රිය ආයුෂ්මත, රහතන් වහන්සේ මරණින් මත්තේ නැද්ද?”

“ප්‍රිය ආයුෂ්මත, රහතන් වහන්සේ මරණින් මතු නැතැ යි යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.”

“ප්‍රිය ආයුෂ්මත, රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද? නැද්ද?”

“ප්‍රිය ආයුෂ්මත, රහතන් වහන්සේ මරණින් මතු ඉන්නවා, නැත යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.”

“ප්‍රිය ආයුෂ්මත කස්සප, රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නෙත් නැද්ද? නැත්තෙත් නැද්ද?”

“ප්‍රිය ආයුෂ්මත, රහතන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නැත නැත්තෙත් නැත යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.”

“ප්‍රිය ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔය කරුණු ගැන නොවදාළේ කුමන හේතුවක් නිසාද?”

“ප්‍රිය ආයුෂ්මත, ඔය ප්‍රශ්න ගැන කතා කිරීම ප්‍රයෝජනවත් නැති දෙයක්. නිවන් මගට මුල් නොවන දෙයක්. අවබෝධයෙන් කලකිරීමට හේතු නොවන දෙයක්. නොඇල්ම පිණිස හේතු නොවන දෙයක්. තණ්හාව නිරුද්ධ වීම පිණිස හේතු නොවන දෙයක්. කෙලෙස් සංසිඳීම පිණිස හේතු නොවන දෙයක්. විශිෂ්ට ඤාණය පිණිස හේතු නොවන දෙයක්. ආර්ය සත්‍යය අවබෝධ වීම පිණිස හේතු නොවන දෙයක්. නිවන පිණිස හේතු නොවන දෙයක්. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ගැන නොවදාළේ ඔය නිසා ම යි.”

“එසේ නම් ප්‍රිය ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් කුමක් වදාළ සේක් ද?”

“ප්‍රිය ආයුෂ්මත, මෙයයි දුක කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා. මෙයයි දුකේ හට ගැනීම කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා. මෙයයි දුක නිරුද්ධ වීම කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා. මෙයයි දුක නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.”

“ප්‍රිය ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔය කරුණු ගැන වදාළේ කුමන හේතුවක් නිසාද?”

“ප්‍රිය ආයුෂ්මත, ඔය ගැන කථා කිරීම ප්‍රයෝජනවත් දෙයක්. නිවන් මඟට මුල් වන දෙයක්. අවබෝධයෙන් කලකිරීමට හේතු වන දෙයක්. නොඇල්ම පිණිස හේතු වන දෙයක්. තණ්හාව නිරුද්ධ වීම පිණිස හේතු වන දෙයක්. කෙලෙස් සංසිඳීම පිණිස හේතු වන දෙයක්. විශිෂ්ට ඤාණය පිණිස හේතු වන දෙයක්. ආර්ය සත්‍යය අවබෝධ වීම පිණිස හේතු වන දෙයක්. නිවන පිණිස හේතු වන දෙයක්. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ගැන වදාළේ ඔය නිසා මයි.”

සාදු! සාදු!! සාදු!!!

තථාගත පරම්මරණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_4-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M