ඒ දිනවල ආයුෂ්මත් මහා කස්සප තෙරුන් වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේය. එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් පෙරවරුවේ සිවුරු හැඳ පොරවා ගෙන පාසිවුරු ගෙන ආයුෂ්මත් මහා කස්සප තෙරුන් ළඟට පැමිණියා. පැමිණිලා ආයුෂ්මත් මහා කස්සප තෙරුන්ට මෙහෙම කිව්වා. “ස්වාමීනි, කස්සපයන් වහන්ස, වඩිනු මැනව. අපි එක්තරා මෙහෙණි ආරාමයක් වෙත යමු.”
“ප්‍රිය ආයුෂ්මත් ආනන්දය, ඔබ යන්න. ඉතින් ඔබට බොහෝ වැඩ තියෙනවා නෙව. බොහෝ කටයුතු තියෙනවා නෙව.”
දෙවෙනි වතාවේ දී, ආයුෂ්මත් ආනන්දයන් ආයුෂ්මත් මහා කස්සප තෙරුන්ට මෙහෙම කිව්වා. “ස්වාමීනි, කස්සපයන් වහන්ස, වඩිනු මැනව. අපි එක්තරා මෙහෙණි ආරාමයක් වෙත යමු.”
“ප්‍රිය ආයුෂ්මත් ආනන්දය, ඔබ යන්න. ඉතින් ඔබට බොහෝ වැඩ තියෙනවා නෙව. බොහෝ කටයුතු තියෙනවා නෙව.”
තුන්වෙනි වතාවේ දී ත්, ආයුෂ්මත් ආනන්දයන් ආයුෂ්මත් මහා කස්සප තෙරුන්ට මෙහෙම කිව්වා. “ස්වාමීනි, කස්සපයන් වහන්ස, වඩිනු මැනව. අපි එක්තරා මෙහෙණි ආරාමයක් වෙත යමු” කියල.
එතකොට ආයුෂ්මත් මහා කස්සප තෙරුන් ද පෙරවරුවේ සිවුරු හැඳ පොරවාගෙන පාසිවුරු ගෙන ආයුෂ්මත් ආනන්දයන්ව පසුපසින් වඩින ශ්‍රමණයෙක් වශයෙන් ගෙන එක්තරා මෙහෙණි ආරාමයක් වෙත වැඩියා. වැඩලා පණවා තිබූ අසුන්වල වැඩ සිටියා.
එතකොට බොහෝ භික්ෂූණීන් ආයුෂ්මත් මහා කස්සප තෙරුන් වෙත පැමිණියා. පැමිණිලා ආයුෂ්මත් මහා කස්සප තෙරුන්ට වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂූණීන්ට ආයුෂ්මත් මහා කස්සප තෙරුන් ධර්ම කථාවෙන් කරුණු පෙන්වා දුන්නා. සමාදන් කළා. උත්සාහවත් කළා. සතුටට පත් කළා. ඉතින් මහා කස්සප තෙරුන් අර භික්ෂූණීන්ට ධර්ම කථාවෙන් කරුණු පෙන්වා දීල, සමාදන් කරවලා, උත්සාහවත් කරවලා, සතුටට පත් කරවලා අසුනෙන් නැගිටලා වැඩම කළා.
ඒ වෙලාවේ ථුල්ලතිස්සා භික්ෂූණිය ඒ ගැන අසතුටු වුණා. නොමනාප වචන පිට කළා. “මේ ආර්ය වූ මහා කස්සපයන් කවුද? වේදේහ මුනි වූ ආර්ය වූ ආනන්දයන් ඉදිරියේ බණ කියන්ට ඕන කියල හිතිය යුතුද? මේක හරියට ඉඳිකටු හදන කෙනා ළඟ ඉඳගෙන ඉඳිකටු වෙළෙන්දා ඉඳිකටු විකුණන්න හිතනවා වගේ. ඔය විදිහට ම යි වේදේහ මුනි වු ආර්ය වූ ආනන්දයන් ඉදිරියේ ආර්ය වූ මහා කස්සපයන් බණ කියන්න හිතන්නේ”
ආයුෂ්මත් මහා කස්සප තෙරුන්ට ථුල්ලතිස්සා භික්ෂුණිය මේ වචන කියද්දී අසන්නට ලැබුණා. එතකොට ආයුෂ්මත් මහා කස්සප තෙරුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, එහෙම නම් මම ඉඳිකටු වෙළෙන්දා නේද? ඔබ ඉඳිකටු හදන්නා නේද? එහෙම නැත්නම් මම ඉඳිකටු හදන්නාද? ඔබ ඉඳිකටු වෙළෙන්දාද?” “ස්වාමීනි, කස්සපයන් වහන්ස, සමා කළ මැනැව. කාන්තාව ඇතැම් විට මෝඩයි නෙව.”
“ප්‍රිය ආයුෂ්මත් ආනන්දය, ඔබ පරෙස්සම් වෙන්න ඕන. භික්ෂු සංඝයා ඔබ ගැන (අතිරේක කරුණු විෂයෙහි) පරීක්ෂා නොකෙරේවා!
ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා ඉදිරියේ ඔබ ගැන මේ ආකාරයෙන් වදාරළා තියෙනවාද?
‘පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් කාමයන් ගෙන් වෙන්ව, අකුසල් දහමින් වෙන්ව විතර්ක විචාර ඇතිව, විවේකයෙන් හට ගත් ප්‍රීති සැපය ඇතිව පළවෙනි ධ්‍යානය උපදවා ගෙන ඉන්න පුළුවන්. ඒ වගේම පින්වත් මහණෙනි, පින්වත් ආනන්දටත් කැමති තාක් කල් කාමයන් ගෙන් වෙන්ව, අකුසල් දහමින් වෙන්ව විතර්ක විචාර ඇතිව, විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ව පළවෙනි ධ්‍යානය උපදවා ගෙන ඉන්න පුළුවන්.” කියලා.
“අනේ නෑ ස්වාමීනී”
“නමුත් ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා ඉදිරියේ මා ගැන මේ ආකාරයෙන් වදාරළා තියෙනවා. පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් කාමයන්ගෙන් වෙන්ව, අකුසල දහම්වලින් වෙන්ව, විතර්ක විචාර ඇති විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානය උපදවා ගෙන ඉන්න පුළුවන්. ඒ වගේම පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් කාමයන්ගෙන් වෙන්ව, අකුසල දහම්වලින් වෙන්ව, විතර්ක විචාර ඇති විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානය උපදවා ගෙන ඉන්න පුළුවන් කියල …. (පෙ) ….
ප්‍රිය ආයුෂ්මත් ආනන්ද, ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා ඉදිරියේ ඔබ ගැන මේ ආකාරයෙන් වදාරළා තියෙනවාද?
‘පින්වත් මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කරල අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් මේ ජීවිතයේ දීම අවබෝධ කර ගෙන මා එයට පැමිණ වාසය කරනවා. පින්වත් මහණෙනි, පින්වත් ආනන්දත්, ආශ්‍රවයන් ක්ෂය කරල අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් මේ ජීවිතයේ දීම අවබෝධ කරගෙන එයට පැමිණ වාසය කරනවා කියල?”
“අනේ නෑ ස්වාමීනී”
“ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා ඉදිරියේ මා ගැන නම් මේ විදිහට ප්‍රකාශ කරල තියෙනවා. ‘පින්වත් මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කරල අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් මේ ජීවිතයේ දීම අවබෝධ කරගෙන මා එයට පැමිණ වාසය කරනවා. පින්වත් මහණෙනි, පින්වත කස්සපත්, ආශ්‍රවයන් ක්ෂය කරල අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් මේ ජීවිතයේ දීම අවබෝධ කරගෙන කස්සපත් එයට පැමිණ වාසය කරනවා’ කියල.
ප්‍රිය ආයුෂ්මතුනි, යමෙක් මගේ සය ආකාර අභිඤ්ඤාවන් වසන්නට පුළුවන් කියල හිතනවා නම් ඒක හත් රියනක් හෝ හත් රියන් හමාරක් වූ හස්ති රාජයෙක් ව තල් කොළයකින් වහන්ට හදනවා වගේ වැඩක්.”
එතකොට ථුල්ලතිස්සා භික්ෂූණිය ඒ බඹසර ජීවිතයෙන් චුත වුණා (සිවුරු හැරියා).
සාදු! සාදු!! සාදු!!!
භික්ඛුනූපස්සය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_4-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M