ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ගිජුකුළු පර්වතයේ. එහිදී …. (පෙ) …. මෙය වදාළා.
පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක් …. (පෙ) …. පින්වත් මහණෙනි, කල්පයක් මුළුල්ලේ ඉපදෙමින් මැරෙමින් සසරේ සැරිසරන එක පුද්ගලයෙකුගේ ඇටසැකිළි ගොඩ එක් රැස් කරන්නෙක් සිටියොත්, ඒ රැස් කරන ඇට ගොඩ නොවැනැසේ නම් ඔය විදිහට ඒ මහා ඇට සැකිළි ගොඩ, ඇට සමූහය, ඇට රාශිය මේ වේපුල්ල පර්වතය යම් තාක් විශාලයි ද ඒතරම් ම වෙනවා. එයට හේතුව මොකක්ද?
පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මැරෙමින් පවතින ස්වභාවය අවසන් නොවන දෙයක් …. (පෙ) …. නිදහස් වෙන්න ම යි වටින්නේ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළිත් මේ ගාථාවන් වදාළා.
1. එක ම කල්පයකින් එක් පුද්ගලයෙකුගේ ඇට ගොඩ එකතු කළොත් වේපුල්ල පර්වතය හා සමාන මහා ඇට ගොඩක් තියෙනවා කියලයි මහා සෘෂි වූ තථාගතයන් වහන්සේ වදාළේ.
2. මේ මගධ පර්වත වළල්ලේ උතුරු දිශාව පැත්තට වෙන්න තමයි මේ මහා වේපුල්ල පර්වතය තියෙන්නේ.
3. යම් දවසක (ආර්ය ශ්‍රාවකයෙක්) දුකත්, දුකේ හට ගැනීමත්, දුක ඉක්මවා යෑමත්, දුක සංසිඳවන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් දියුණු කරපු ප්‍රඥාවෙන් දැකගත්තොත්,
4. ඒ පුද්ගලයා මේ සසරෙහි වැඩි ම වුණොත් ආත්ම භාවයන් හතක් සැරිසරනවා. ඔහු සියලු කෙලෙස් බන්ධන ක්ෂය කරල දුක අවසන් කරනවා.
සාදු! සාදු!! සාදු!!!
ඒකපුග්ගල සූත්‍රය නිමා විය.
පළමුවෙනි තිණකට්ඨ වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_3-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M