සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

3.1.1. තිණකට්ඨ සුත්තං

3.1.1. තණ දැව දඬු මුල්කොට වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්‌ඛූ ආමන්තේසි භික්ඛවෝ ති. භදන්තේ ති තේ භික්‌ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

මා හට අසන්නට ලැබුණේ මේ විදිහට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි ය. එහි දී භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂු සංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියා ඒ භික්ෂුන් ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනය වදාළේ.

අනමතග්‌ගෝයං භික්ඛවේ සංසාරෝ. පුබ්‌බාකෝටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයෝජනානං සන්‌ධාවතං සංසරතං. සෙය්‍යථාපි භික්ඛවේ පුරිසෝ යං ඉමස්‌මිං ජම්‌බුදීපේ තිණකට්‌ඨසාඛාපලාසං, තං ඡෙත්‌වා ඒකජ්‌ඣං සංහරෙය්‍ය, ඒකජ්ඣං සංහරිත්‌වා චතුරංගුලං චතුරංගුලං ඝටිකං කරිත්‌වා නික්‌ඛිපෙය්‍ය, අයං මේ මාතා, තස්‌සා මේ මාතු අයං මාතාති. අපරියාදින්නාව භික්ඛවේ තස්‌ස පුරිසස්‌ස මාතුමාතරෝ අස්‌සු. අථ ඉමස්‌මිං ජම්‌බුදීපේ තිණකට්‌ඨසාඛාපලාසං පරික්‌ඛයං පරියාදානං ගච්‌ඡෙය්‍ය. තං කිස්‌ස හේතු? අනමතග්‌ගෝයං භික්ඛවේ සංසාරෝ. පුබ්‌බාකෝටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයෝජනානං සන්‌ධාවතං සංසරතං.

පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනකි. ආරම්භක කෙළවර දැක්ක නොහැකි දෙයකි. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවය ආරම්භක කෙළවරක් දැක්ක නොහැකි ය.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්, එක්තරා පුරුෂයෙක් මේ දඹදිව යම් තාක් තණ, දැවදඬු, අතු, කොළ ආදිය වේ නම් ඒවා කපලා එක් රැස් කරනවා කියල හිතමු. එසේ එක් රැස් කොට අඟල් හතරේ කැබලිවලට ඒ සියල්ල ම කපා රැස් කරනවා. ඊට පස්සේ ඔහු ‘මේ මගේ අම්මා, මේ මගේ මව ගේ අම්මා’ ආදී වශයෙන් අර දර කැබැල්ල ගණනේ අයින් කරද්දී ඒ පුරුෂයා ගේ මව ගේ මව්වරු පරපුර ක්ෂය නොවී තිබෙද්දී ම, අවසන් නොවී තිබෙද්දී ම මේ දඹදිව් තලයේ තණ දැව දඬු අතු කොළ ආදිය ක්ෂය වෙලා අවසන් වෙලා යනවා.

පින්වත් මහණෙනි, ඒකට හේතුව කුමක්ද? ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවය ආරම්භක කෙළවරක් දැක්ක නොහැකි දෙයක්.

ඒවං දීඝරත්‌තං වෝ භික්ඛවේ දුක්‌ඛං පච්‌චනුභූතං, තිබ්‌බං පච්‌චනුභූතං, ව්‍යසනං පච්‌චනුභූතං, කටසි වඩ්‌ඪිතා. යාවඤ්‌චිදං භික්ඛවේ අලමේව සබ්‌බසංඛාරේසු නිබ්‌බින්‌දිතුං, අලං විරජ්‌ජිතුං, අලං විමුච්‌චිතුන්‌ති.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අති දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔබ විසින් අනේක දුක් අනුභව කරල තියෙනවා. තියුණු දුක් විඳල තියෙනවා. මහා විපත්වලට භාජනය වෙලා තියෙනවා. මේ මහා පොළොව නම් වූ සොහොන් පිටිය පුරවලා තියෙනවා. එම නිසා පින්වත් මහණෙනි, මේ හැම සංස්කාරයක් ගැන ම අවබෝධයෙන් යුතුව කළකිරෙන්නට ම යි වටින්නේ. නො ඇලෙන්න ම යි වටින්නේ. නිදහස් වෙන්න ම යි වටින්නේ.

සාදු! සාදු!! සාදු!!!

තිණකට්ඨ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M