සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාට සතර මහා භූතයන් ගෙන් හටගත් මේ ශරීරය ගැන නම් කළකිරිලාත් යනවා. එපාත් වෙනවා. නිදහස් වෙන්නත් හිතෙනවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරයේ වැඩීමත්, පිරිහීයාමත්, අල්ලා ගැනීමත්, අත්හැරීමත් දකින්නට ලැබෙනවා. අශ්‍රැතවත් පෘථග්ජනයා මේ ශරීරය ගැන කළකිරෙන්නෙත්, එපා වෙන්නෙත්, නිදහස් වෙන්න හිතන්නෙත් ඒ නිසාමයි.
නමුත් පින්වත් මහණෙනි, මේ හිත කියල, මනස කියල, විඤ්ඤාණය කියලා යම් දෙයකට කියනවා නම්, අන්න ඒ ගැන නම් අශ්‍රැතවත් පෘථග්ජනයා කළකිරෙන්නට විදිහක් නෑ. එපා වෙන්නට විදිහක් නෑ. නිදහස් වීමට හිතන්නට විදිහක් නෑ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ ‘මේක මගේ, මෙ තමයි මම, මේ තමයි මගේ ආත්මය’ කියලා ඒ කෙරෙහි බැසගෙන ඉන්නවා. මමත්වයෙන් ඉන්නවා. වැළඳගෙන ඉන්නවා. පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාට ඒ ගැන කළකිරෙන්නට බැරි, එපා වෙන්නට බැරි, නිදහස් වීමට හිතන්නට බැරි ඒ නිසාමයි.
පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාට ආත්මය කියලා යමක් ඕනම නම් සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරය ගැන එහෙම සළකන එක හොඳයි. නමුත් සිත එලෙස ගැනීම සුදුසු නෑ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරය එක අවුරුද්දක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු දෙකක් පුරාම තියෙනවා දකින්නට ලැබෙනවා. අවුරුදු තුනක් ….(පෙ)…. අවුරුදු හතරක් ….(පෙ)…. අවුරුදු පහක් ….(පෙ)…. අවුරුදු දහයක් ….(පෙ)…. අවුරුදු විස්සක් ….(පෙ)…. අවුරුදු තිහක් ….(පෙ)…. අවුරුදු හතළිහක් ….(පෙ)…. අවුරුදු පනහක් ….(පෙ)…. අවුරුදු සීයක් ….(පෙ)…. අවුරුදු සීයකට වැඩිය තියෙනවා වුණත් දකින්නට ලැබෙනවා.
නමුත් පින්වත් මහණෙනි, මේ හිත කියලා, මනස කියලා, විඤ්ඤාණය කියලා යම් දෙයකට කියනවා නම් අන්න ඒ දෙය දවල්ටත් රෑටත් වෙන එකක්ම උපදිනවා. වෙන එකක්ම නිරුද්ධ වෙනවා.
ඔය ගැන පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා කරන්නේ පටිච්චසමුප්පාදයම මනා කොට සිහි කිරීමමයි. ඔය විදිහට මෙය තිබුණොත් තමයි මෙය ඇතිවන්නේ. මෙය ඉපදීමෙන් තමයි මෙය උපදින්නේ. මෙය නැති වුණොත් මෙය නැති වෙලා යනවා. මෙය නිරුද්ධ වෙන කොට මෙය නිරුද්ධ වෙලා යනවා.
පින්වත් මහණෙනි, සැප විඳීමකට හේතුවන ස්පර්ශය නිසයි සැප විඳීම හටගන්නේ. සැප විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඊට අනුරූප වූ යම් විඳීමක් තිබුණා නම්, ඒ සැප විඳීමට හේතු වූ ස්පර්ශයෙන් උපන් ඒ සැප විඳීම නිරුද්ධ වෙලා යනවා. එය සංසිඳිලා යනවා.
පින්වත් මහණෙනි, දුක් විඳීමකට හේතුවන ස්පර්ශය නිසයි දුක් විඳීම හටගන්නේ. දුක් විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඊට අනුරූප වූ යම් විඳීමක් තිබුණා නම්, ඒ දුක් විඳීමට හේතු වූ ස්පර්ශයෙන් උපන් ඒ දුක් විඳීම නිරුද්ධ වෙලා යනවා. එය සංසිඳිලා යනවා.
පින්වත් මහණෙනි, මැදහත් විඳීමකට හේතුවන ස්පර්ශය නිසයි මැදහත් විඳීම හටගන්නේ. මැදහත් විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඊට අනුරූප වූ යම් විඳීමක් තිබුණා නම්, ඒ මැදහත් විඳීමට හේතු වූ ස්පර්ශයෙන් උපන් ඒ මැදහත් විඳීම නිරුද්ධ වෙලා යනවා. එය සංසිඳිලා යනවා.
පින්වත් මහණෙනි, දර කැබලි දෙකක් එකට හේත්තු වෙලා, ඇතිල්ලිලා, ගැටීමෙන් යම් උණුසුමක් උපදිනවා, ගින්නක් උපදිනවා කියලා හිතමු. ඉතින් ඒ දර කැබලි දෙක දෙපැත්තට වෙන් වීමෙන්, බැහැර වීමෙන්, එයින් හට ගත් යම් උණුසුමක් තිබුණා නම්, ඒක නිවිලා යනවා. සංසිඳිලා යනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි සැප විඳීමකට හේතුවන ස්පර්ශය නිසයි සැප විඳීම හටගන්නේ. සැප විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඊට අනුරූප වූ යම් විඳීමක් තිබුණා නම්, ඒ සැප විඳීමට හේතු වූ ස්පර්ශයෙන් උපන් ඒ සැප විඳීම නිරුද්ධ වෙලා යනවා. එය සංසිඳිලා යනවා.
පින්වත් මහණෙනි, දුක් විඳීමකට ….(පෙ)…. ඒ දුක් විඳීම නිරුද්ධ වෙලා යනවා. එය සංසිඳිලා යනවා. පින්වත් මහණෙනි, මැදහත් විඳීමකට ….(පෙ)…. ඒ මැදහත් විඳීම නිරුද්ධ වෙලා යනවා. එය සංසිඳිලා යනවා.
පින්වත් මහණෙනි, ඔය විදිහට දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ස්පර්ශය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඳීම ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. කළකිරීම නිසා ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ තමන් අවබෝධයෙන්ම දන්නවා තමන් නිදහස් වුණ බව. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. ආයෙත් නම් නැවත උපතක් නැතැ’යි දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
දුතිය අස්සුතවන්තු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-7-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M