සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.6.5. මහා රුක්ඛ සුත්තං

1.6.5. මහා වෘක්ෂය ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ………….

උපාදානීයේසු භික්ඛවේ ධම්මේසු අස්‌සාදානුපස්‌සිනෝ විහරතෝ තණ්‌හා පවඩ්‌ඪති. තණ්‌හාපච්‌චයා උපාදානං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි වැඩෙන්නේ. තණ්හාව හේතු කොට ගෙන බැඳීයාම ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.

සෙය්‍යථාපි භික්ඛවේ මහාරුක්‌ඛෝ. තස්‌ස යානි චේව මූලානි අධෝගමානි, යානි ච තිරියංගමානි, සබ්‌බානි තානි උද්‌ධං ඕජං අභිහරන්‌ති. ඒවං හි සෝ භික්ඛවේ මහාරුක්‌ඛෝ තදාහාරෝ තදුපාදානෝ චිරං දීඝමද්‌ධානං තිට්‌ඨෙය්‍ය. ඒවමේව ඛෝ භික්ඛවේ උපාදානීයේසු ධම්මේසු අස්‌සාදානුපස්‌සිනෝ විහරතෝ තණ්‌හා පවඩ්‌ඪති. තණ්‌හාපච්‌චයා උපාදානං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, මහා වෘක්ෂයක් තියෙනවා කියල හිතමු. ඉතින් ඒකෙ යටට බහින මුල් තියෙනවා නම්, හරස් අතට යන මුල් තියෙනවා නම්, ඒ සෑම මුලක්ම කරන්නේ උඩු අතට ඕජස් අදින එකයි. පින්වත් මහණෙනි, ඔය විදිහටයි ඒ මහා වෘක්ෂය ඒ ආහාරයෙන්, ඒ උපාදානයෙන් බොහෝ දීර්ඝ කාලයක් පවතින්නේ.

පින්වත් මහණෙනි, ඔය විදිහමයි. බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි වැඩෙන්නේ. තණ්හාව හේතු කොට ගෙන බැඳීයාම ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.

උපාදානීයේසු භික්ඛවේ ධම්මේසු ආදීනවානුපස්‌සිනෝ විහරතෝ තණ්‌හා නිරුජ්‌ඣති. තණ්‌හානිරෝධා උපාදානනිරෝධෝ උපාදානනිරෝධා භවනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝති.

පින්වත් මහණෙනි, බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා. …..(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.

සෙය්‍යථාපි භික්ඛවේ මහාරුක්‌ඛෝ. අථ පුරිසෝ ආගච්‌ඡෙය්‍ය කුද්‌දාලපිටකං ආදාය. සෝ තං රුක්‌ඛං මූලේ ඡින්‌දෙය්‍ය. මූලේ ඡෙත්‌වා පලිඛණෙය්‍ය. පලිඛණිත්‌වා මූලානි උද්‌ධරෙය්‍ය අන්‌තමසෝ උසීරනාළමත්‌තානිපි. සෝ තං රුක්‌ඛං ඛණ්‌ඩාඛණ්‌ඩිකං ඡින්‌දෙය්‍ය. ඛණ්‌ඩාඛණ්‌ඩිකං ඡින්‌දිත්‌වා ඵාලෙය්‍ය. ඵාලෙත්‌වා සකලිකං සකලිකං කරෙය්‍ය. සකලිකං සකලිකං කරිත්‌වා වාතාතපේ විසෝසෙය්‍ය, වාතාතපේ විසෝසෙත්‌වා අග්‌ගිනා ඩහෙය්‍ය. අග්‌ගිනා ඩහෙත්‌වා මසිං කරෙය්‍ය. මසිං කරිත්‌වා මහාවාතේවා ඕපුනෙය්‍ය, නදියා වා සීඝසෝතාය පවාහෙය්‍ය. ඒවං හි සෝ භික්ඛවේ මහාරුක්‌ඛෝ උච්‌ඡින්‌නමූලෝ අස්‌ස තාලාවත්‌ථුකතෝ අනභාවකතෝ ආයතිං අනුප්‌පාදධම්මෝ. ඒවමේව ඛෝ භික්ඛවේ උපාදානීයේසු ධම්මේසු ආදීනවානුපස්‌සිනෝ විහරතෝ තණ්‌හා නිරුජ්‌ඣති. තණ්‌හානිරෝධා උපාදානනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතීති.

පින්වත් මහණෙනි, මහා වෘක්ෂයක් තියෙනවා කියල හිතමු. ඉතින් එතැනට උදැල්ලකුයි කූඩයකුයි අරගෙන එක මනුස්සයෙක් එනවා. ඒ පුද්ගලයා ඒ වෘක්ෂය මුලින්ම කපනවා. මුලින්ම කපලා ගහ වටේ යටට හාරනවා. ගහ වටේ යටට හාරලා අඩු ගණනේ සැවැන්දරා මුලක් තරම් වත් මුලක් ඉතුරු නොකොට හැම මුලක්ම උදුරනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒ වෘක්ෂය කෑලි කෑලිවලට කපනවා. කෑලි කෑලිවලට කපල පලනවා. පලලා කොටස් කොටස් කරනවා. කොටස් කොටස් කරලා අව්වේ වේලනවා. අව්වේ වේලලා ගිනි තියනවා. ගිනි තියලා අළු බවට පත් කරනවා. අළු බවට පත් කරලා මහා සුළඟේ විසුරුවා හරිනවා. එහෙමත් නැත්නම් සැඩ දිය කඳ ඇති ගඟේ පා කොට හරිනවා. එතකොට පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ඒ මහා වෘක්ෂය මුලින්ම සිඳිලා යනවා. කරටිය කැඩිච්ච තල් ගසක් වගේ වෙලා යනවා. අභාවයට පත් වෙලා යනවා. ආයෙ කිසිදාක හට නොගන්නා ස්වභාවයට පත්වෙනවා.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා. …..(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.

සාදු! සාදු!! සාදු!!!

මහා රුක්ඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-6-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M