සැවැත් නුවරදී …………….
පින්වත් මහණෙනි, බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි වැඩෙන්නේ. තණ්හාව හේතු කොට ගෙන බැඳීයාම ඇතිවෙනවා. බැඳීයාම හේතු කොටගෙන භවය ඇතිවෙනවා. භවය හේතු කොටගෙන ඉපදෙනවා. ඉපදීම හේතු කොට ගෙන ජරාමරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ඇතිවෙනවා. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දර පුරවපු ගැල් දහයක හරි, විස්සක හරි, තිහක හරි, හතළිහක හරි මහා ගිනි ජාලාවක් ඇවිලෙමින් තියෙනවා කියල හිතන්න. ඉතින් මිනිහෙක් ඇවිදින් කලින් කලට වේලිච්ච තණකොළත් ඒ ගින්නට දානවා නම්, වේලිච්ච ගොමත් දානවා නම්, වේලිච්ච දරත් දානවා නම් පින්වත් මහණෙනි, ඔය විදිහට ඒ මහා ගිනි ජාලාව ඒ ආහාරයෙන්, ඒ උපාදානයෙන් බොහෝ කලක් ඇවිලි ඇවිලී තියෙනවා.
පින්වත් මහණෙනි, ඔය විදිහමයි. බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි වැඩෙන්නේ. තණ්හාව හේතු කොට ගෙන බැඳීයාම ඇතිවෙනවා. බැඳීයාම හේතු කොටගෙන භවය ඇතිවෙනවා. භවය හේතු කොටගෙන ඉපදෙනවා. ඉපදීම හේතු කොට ගෙන ජරාමරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ඇතිවෙනවා. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.
පින්වත් මහණෙනි, බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා. බැඳීයාම නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාමරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දර පුරවපු ගැල් දහයක හරි, විස්සක හරි, තිහක හරි, හතළිහක හරි මහා ගිනි ජාලාවක් ඇවිලෙමින් තියෙනවා කියල හිතන්න. ඉතින් මිනිහෙක් ඇවිදින් කලින් කලට වේලිච්ච තණකොළත් ඒ ගින්නට දාන්නෙ නැත්නම්, වේලිච්ච ගොමත් දාන්නෙ නැත්නම්, වේලිච්ච දරත් දාන්නෙ නැත්නම් පින්වත් මහණෙනි, ඔය විදිහට ඒ මහා ගිනි ජාලාව කලින් තිබුණු දර අවසන් වීමෙන් අනිත් දර එක් නොවුණ නිසාත් ආහාර රහිත වීමෙන් නිවිලා යනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා. බැඳීයාම නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාමරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
උපාදාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-6-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M