සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට මෙහෙම හිතෙන්නේ නෑ.
ඒ කියන්නේ ‘ඇත්තෙන්ම කුමක් ඇති කල්හි කුමක් වෙයිද? කුමක ඉපදීමෙන් කුමක් උපදීද? කුමක් ඇති කල්හිද සංස්කාර ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද විඤ්ඤාණය ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද නාමරූප ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද ආයතන හය ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද ස්පර්ශය ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද විඳීම ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද තණ්හාව ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද උපාදාන ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද භවය ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද ඉපදීම ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද ජරාමරණ ඇතිවන්නේ’ කියලා.
නමුත් පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට මේ පිළිබඳව අනුන්ගේ උපකාරයකින් තොර වූ අවබෝධ ඤාණයක් තියෙනවා.
‘මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් තමයි මෙය උපදින්නේ. අවිද්‍යාව තිබෙන විටයි සංස්කාර ඇතිවන්නේ. සංස්කාර තිබෙන විටයි විඤ්ඤාණය ඇතිවන්නේ. විඤ්ඤාණය තිබෙන විටයි නාමරූප ඇතිවන්නේ. ….(පෙ)…. ඉපදීම තිබෙන විටයි ජරා මරණ ඇතිවන්නේ. මෙන්න මෙහෙමයි මේ ලෝකය හටගන්නේ’ කියලා ඔහු ඔය විදිහට දැනගන්නවා.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට මෙහෙම හිතෙන්නේ නෑ. ඒ කියන්නේ, ‘ඇත්තෙන්ම කුමක් නැති කල්හි කුමක් නැති වෙයිද? කුමක නිරුද්ධ වීමෙන් කුමක් නිරුද්ධ වෙයිද? කුමක් නැති කල්හිද සංස්කාර නැතිවන්නේ? කුමක් නැති කල්හිද විඤ්ඤාණය නැතිවන්නේ? කුමක් නැති කල්හිද නාමරූප නැතිවන්නේ? කුමක් නැති කල්හිද ආයතන හය නැතිවන්නේ? කුමක් නැති කල්හිද ස්පර්ශය නැතිවන්නේ? කුමක් නැති කල්හිද විඳීම නැතිවන්නේ? කුමක් නැති කල්හිද තණ්හාව නැතිවන්නේ? කුමක් නැති කල්හිද උපාදාන නැතිවන්නේ? කුමක් නැති කල්හිද භවය නැතිවන්නේ? කුමක් නැති කල්හිද ඉපදීම නැතිවන්නේ? කුමක් නැති කල්හිද ජරාමරණ නැතිවන්නේ?’ කියලා.
නමුත් පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට මේ පිළිබඳව අනුන්ගේ උපකාරයකින් තොර වූ අවබෝධ ඤාණයක් තියෙනවා.
‘මෙය නැති කල්හි මෙය නැති වේ. මෙය නිරුද්ධ වීමෙන් තමයි මෙය නිරුද්ධ වන්නේ. අවිද්‍යාව නැති වෙන විටයි, සංස්කාර නැතිවන්නේ. සංස්කාර නැතිවන විටයි විඤ්ඤාණය නැතිවන්නේ. විඤ්ඤාණය නැතිවන විටයි නාමරූප නැතිවන්නේ. ….(පෙ)…. ඉපදීම නැතිවෙන විටයි ජරා මරණ නැතිවන්නේ. මෙන්න මෙහෙමයි මේ ලෝකය නිරුද්ධ වන්නේ’ කියලා ඔහු ඔය විදිහට දැනගන්නවා.
පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා හට ඔය ආකාරයෙන් ලෝකයේ හටගැනීමත්, ලෝකයේ නැතිවීමත් යථාර්ථ වශයෙන්ම අවබෝධ වුණොත්, පින්වත් මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකයාටයි සම්මා දිට්ඨියෙන් යුතු කෙනා කියන්නේ. ආර්ය සත්‍යය දර්ශනයෙන් යුක්ත කෙනා කියන්නේ. මේ සද්ධර්මය වෙත පැමිණුන කෙනා කියන්නේ. මේ සද්ධර්මය දකින කෙනා කියන්නේ. ආර්ය මාර්ගයෙහි හික්මෙන නුවණැත්තා කියන්නේ. ආර්ය මාර්ගය ගැන අවබෝධය තිබෙන කෙනා කියන්නේ. මේ දහම් සැඩ පහරට පැමිණුන කෙනා කියන්නේ. ආර්යභාවයට පත්කරවන කළකිරීමෙන් යුතු කෙනා කියන්නේ. ඒ අමා නිවන් දොරෙහි වැදි වැදී සිටින කෙනා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය අරියසාවක සූත්‍රය නිමා විය.
පස්වෙනි ගහපති වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M