රජගහ නුවරදී …………….
එදා ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් උදේ වරුවේ සිවුරු පොරොවාගෙන පාත්‍ර සිවුරු අරගෙන රජගහ නුවරට පිණ්ඩපාතෙ වැඩියා. එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙහෙම සිතුණා. ‘රජගහ නුවර පිණ්ඩපාතෙ හැසිරෙන්නට තවම වේලාසන වැඩියි. ඒ නිසා මං අන්‍යාගම්කාර තවුසන්ගේ වාසස්ථානයට ගොඩ වුණොත් හොඳයි’ කියලා. ඉතින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ අන්‍යාගම්කාර තවුසන්ගේ වාසස්ථානයට වැඩියා. වැඩම කරලා අන්‍යාගම්කාර තවුසන් සමඟ පිළිසඳර කතා බහේ යෙදුණා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වැඩිසිටිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට ඒ අන්‍යාගම්කාර තවුසන් මෙහෙම කිව්වා.
“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් කර්මය පිළිගන්නවා. ඔවුන් කියා සිටින්නේ දුක තමා විසින් කරපු දෙයක් බවයි. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, කර්මය පිළිගන්නා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් කියා සිටින්නේ දුක අනුන් විසින් කරපු දෙයක් බවයි. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, කර්මය පිළිගන්නා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් කියා සිටින්නේ දුක තමා විසිනුත්, අනුන් විසිනුත් කරපු දෙයක් බවයි. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, කර්මය පිළිගන්නා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් කියා සිටින්නේ දුක තමා විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයක් බවයි.
ඉතින් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, දුක පිළිබඳව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දරන්නේ මොන වගේ අදහසක්ද? පවසන්නේ මොන වගේ දෙයක්ද? ඔය කාරණය ගැන අපි මොන වගේ පිළිතුරක් දුන්නොත්ද, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පැවසූ දෙයක් වන්නේ? අනික, අපි ශ්‍රමණ ගෞතමයන් වහන්සේට අභූත චෝදනා නොකළා වන්නේ? උන්වහන්සේගේ ධර්මයට ගැලපෙන දෙයක් පැවසුවා වන්නේ? කරුණු සහිතව දහම් කරුණු ප්‍රකාශ වෙද්දී ගර්හාවට ලක් නොවන්නේ?”
“ප්‍රිය ආයුෂ්මතුනි, මේ දුක වනාහී හේතුඵල දහමින් හටගත් දෙයක් බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. දුකේ හේතුව මොකක්ද? ස්පර්ශය හේතු කරගෙනයි දුක ඇතිවෙන්නේ. ඔය විදිහට පැවසුවොත් නම් භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක්ම පවසන කෙනෙක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේට අභූත චෝදනාවක් කෙරෙන්නේ නෑ. උන්වහන්සේ වදාළ ධර්මයට එකඟ වූ දෙයක් පැවසුවා වෙනවා. කරුණු සහිතව දහම් කරුණු ප්‍රකාශ වෙද්දී ගර්හාවට ලක් වෙන්නේ නෑ.
ප්‍රිය ආයුෂ්මතුනි, කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසින් කරපු දෙයක් කියා පැවසුවත්, ස්පර්ශය ප්‍රත්‍යයන්මයි ඒ දුකත් හටගන්නේ. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක අනුන් විසින් කරපු දෙයක් කියා පැවසුවත් ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි ඒ දුකත් හටගන්නේ. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසිනුත්, අනුන් විසිනුත් කරපු දෙයක් කියා පැවසුවත්, ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි ඒ දුකත් හටගන්නේ. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයක් කියා පැවසුවත්, ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි ඒ දුකත් හටගන්නේ.
ප්‍රිය ආයුෂ්මතුනි, කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසින් කරපු දෙයක් කියා පැවසුවත්, ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවා කියන කරුණ කවදාවත් සිදුනොවන දෙයක්. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක අනුන් විසින් කරපු දෙයක් කියා පැවසුවත් ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවා කියන කරුණ කවදාවත් සිදු නොවන දෙයක්. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසිනුත් අනුන් විසිනුත් කරපු දෙයක් කියා පැවසුවත්, ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවා කියන කරුණ කවදාවත් සිදු නොවන දෙයක්. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයක් කියා පැවසුවත්, ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවා කියන කරුණ කවදාවත් සිදු නොවන දෙයක්.”
ඒ වෙලාවේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අන්‍යාගමික පූජකවරුන් සමඟ මේ කරපු කතා බහ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේත් අසාගෙන සිටියා. ඉතින් ඊට පස්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රජගහ නුවර පිණ්ඩපාතෙ වැඩල දන් වළඳල භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඒ අන්‍යාගම්කාර පූජකවරුන් සමඟ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ කරපු කතා බහ ගැන සියලු තොරතුරු භාග්‍යවතුන් වහන්සේට සැළ කළා.
“සාදු! සාදු! පින්වත් ආනන්ද, නියම විදිහට ඒ කරුණු කිව යුතු නම් ඒ විදිහටමයි සාරිපුත්තයන් කියා තියෙන්නේ. පින්වත් ආනන්ද, මේ දුක වනාහී හේතුඵල දහමින් හටගත් දෙයක් බවයි මා පවසා තිබෙන්නේ. දුකේ හේතුව මොකක්ද? ස්පර්ශය හේතු කොට ගෙනයි දුක ඇතිවෙන්නේ. ඔය විදිහට පවසන කෙනා මා පැවසු දෙයක්ම කියන කෙනෙක්. මට අභූතයෙන් චෝදනා කරන්නේ නෑ. මා පැවසූ දහමට එකඟ වූ දෙයක්මයි කියන්නේ. කරුණු සහිතව දහම ප්‍රකාශ වෙද්දී ගර්හාවට ලක්වෙන්නේ නෑ.
පින්වත් ආනන්ද, කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක්, දුක තමා විසින් කරපු දෙයක් කියා පැවසුවත්, ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි ඒ දුකත් හටගන්නේ …. (පෙ) …. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක්, දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු, ඉබේ හටගත් දෙයක් කියා පැවසුවත් ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි ඒ දුකත් හටගන්නේ.
පින්වත් ආනන්ද, කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසින් කරපු දෙයක් කියා පැවසුවත්, ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවාය කියන කරුණ කවදාවත් සිදු නොවන දෙයක් …. (පෙ) …. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු, ඉබේ හටගත් දෙයක් කියා පැවසුවත්, ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවා කියන කරුණ කවදාවත් සිදු නොවන දෙයක්.
පින්වත් ආනන්ද, එක කාලෙක මේ රජගහ නුවරම ලෙහෙනුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ මං හිටියේ. ඉතින් පින්වත් ආනන්ද, එදා උදේ වරුවේ මං සිවුරු පොරවාගෙන පා සිවුරු අරගෙන රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩියා. එතකොට පින්වත් ආනන්ද, මට මෙහෙම හිතුණා. ‘රජගහ නුවර පිණ්ඩපාතේ හැසිරෙන්න තාම වෙලාව වැඩියි. ඒ නිසා මං අන්‍යාගම්කාර තවුසන්ගේ වාසස්ථානයට යන්න ඕන කියලා. ඉතින් පින්වත් ආනන්ද, මං ඒ අන්‍යාගම්කාර තවුසන්ගේ වාසස්ථානයට ගියා. ගිහින් ඒ අන්‍යාගම්කාර තවුසන් සමඟ පිළිසඳර කතා බහේ යෙදුණා. ඊට පස්සේ එකත්පස්ව වාඩිවුණා. පින්වත් ආනන්ද, එකත්පස්ව වාඩිවුණ මට ඒ අන්‍යාගම්කාර තවුසෝ මෙහෙම කිව්වා.
‘ප්‍රිය ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන් කර්මය පිළිගන්නවා. ඔවුන් කියා සිටින්නේ දුක තමා විසින් කරපු දෙයක් බවයි. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, කර්මය පිළිගන්නා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් කියා සිටින්නේ දුක අනුන් විසින් කරපු දෙයක් බවයි. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, කර්මය පිළිගන්නා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් කියා සිටින්නේ දුක තමා විසිනුත් අනුන් විසිනුත් කරපු දෙයක් බවයි. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, කර්මය පිළිගන්නා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියා සිටින්නේ දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයක් බවයි.
ඉතින් ප්‍රිය ආයුෂ්මත් ගෞතමයන් වහන්ස, දුක පිළිබඳව ආයුෂ්මත් ගෞතමයන් වහන්සේ දරන්නේ මොන වගේ අදහසක්ද? පවසන්නේ මොන වගේ දෙයක්ද? ඔය කාරණය ගැන අපි මොන වගේ පිළිතුරක් දුන්නොත්ද ආයුෂ්මත් ගෞතමයන් වහන්සේ පැවසූ දෙයක් පැවසුවා වන්නේ? අනික අපි ආයුෂ්මත් ගෞතමයන් වහන්සේට අභූත චෝදනා නොකළා වන්නේ? ආයුෂ්මත් ගෞතමයන් වහන්සේගේ ධර්මයට ගැලපෙන දෙයක් පැවසුවා වන්නේ? කරුණු සහිතව දහම් කරුණු ප්‍රකාශ වෙද්දී ගර්හාවට ලක් නොවන්නේ?
පින්වත් ආනන්ද, මං මේ විදිහට ප්‍රකාශ කරල ඒ අන්‍යාගම්කාර තවුසන්ට මෙන්න මෙහෙම පැහැදිලි කළා. එම්බා ආයුෂ්මත්වරුනි, මේ දුක වනාහී හේතුඵල දහමින් හටගත් දෙයක් බවයි මං පවසන්නේ. දුකේ හේතුව මොකක්ද? ස්පර්ශය හේතු කරගෙනයි දුක ඇතිවෙන්නේ. ඔය විදිහට පැවසුවොත් නම් මං පැවසූ දෙයක්ම පවසන කෙනෙක් වෙනවා. මට අභූත චෝදනාවක් කෙරෙන්නේ නෑ. මාගේ ධර්මයට එකඟ වූ දෙයක් පැවසුවා වෙනවා. කරුණු සහිතව දහම් කරුණු ප්‍රකාශ වෙද්දී ගර්හාවට ලක්වෙන්නේ නෑ.
එම්බා ආයුෂ්මත්වරුනි, මේ කාරණයේදී කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසින් කරපු දෙයක් කියා පැවසුවත්, ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි ඒ දුකත් හටගන්නේ. …. (පෙ) …. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු, ඉබේ හටගත් දෙයක් කියා පැවසුවත්, ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි ඒ දුකත් හටගන්නේ.
එම්බා ආයුෂ්මත්වරුනි, මේ කාරණයේදී කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසින් කරපු දෙයක් කියා පැවසුවත්, ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවා කියන කරුණ කවදාවත් සිදු නොවන දෙයක්. …. (පෙ) …. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු, ඉබේ හටගත් දෙයක් කියා පැවසුවත්, ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවා කියන කරුණ කවදාවත් සිදු නොවන දෙයක්.
“ස්වාමීනී, ආශ්චර්යයි! ස්වාමීනී, පුදුම සහගතයි! (ස්පර්ශය නම් වූ) එකම දහම් පදයකින් සියලුම අර්ථ මතුකර දෙන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීනී, ඔය අර්ථයම විස්තර වශයෙන් පවසද්දී තව තවත් ගැඹුරට අර්ථ මතුවේවි නේද? ගැඹුරු වැටහීමක්ම ඇතිවේවි නේද?”
“එහෙම නම් පින්වත් ආනන්ද, ඔය කාරණය ඔබටම වැටහෙන්නට පුළුවනි.”
“ස්වාමීනී, ඉතින් යම් කෙනෙක් මගෙන් මේ විදිහට ඇසුවොත් ‘ආයුෂ්මත් ආනන්ද, ජරා මරණයෙන් මුල මොකක්ද? හටගැනීම මොකක්ද? උපත මොකක්ද? ප්‍රභවය මොකක්ද?’ කියලා, එතකොට ස්වාමීනී, ඔය ප්‍රශ්නයට මං මේ විදිහට උත්තර දෙනවා. ‘ප්‍රිය ආයුෂ්මත්නි, ජරා මරණයේ මුල වනාහී ඉපදීමයි. ඉපදීමෙනුයි හටගන්නේ. ඉපදීමෙනුයි උපදින්නේ. ඉපදීමෙනුයි ප්‍රභවය වන්නේ’ කියලා.
ස්වාමීනී, ඉදින් යම් කෙනෙක් මගෙන් මේ විදිහට ඇහුවොත්, ‘ආයුෂ්මත් ආනන්ද, ඉපදීමේ මුල මොකක්ද? හටගැනීම මොකක්ද? උපත මොකක්ද? ප්‍රභවය මොකක්ද?’ කියලා, එතකොට ස්වාමීනී, ඔය ප්‍රශ්නයට මං මේ විදිහට උත්තර දෙනවා. ‘ප්‍රිය ආයුෂ්මත්නි, ඉපදීමේ මුල වනාහී භවයයි. භවයෙනුයි හටගන්නේ. භවයෙනුයි උපදින්නේ. භවයෙනුයි ප්‍රභවය වන්නේ’ කියලා.
ස්වාමීනී, ඉදින් යම් කෙනෙක් මගෙන් මේ විදිහට ඇහුවොත්, ‘ආයුෂ්මත් ආනන්ද, භවයේ මුල මොකක්ද? හටගැනීම මොකක්ද? උපත මොකක්ද? ප්‍රභවය මොකක්ද?’ කියලා, එතකොට ස්වාමීනී, ඔය ප්‍රශ්නයට මං මේ විදිහට උත්තර දෙනවා. ‘ප්‍රිය ආයුෂ්මත්නි, භවයේ මුල වනාහී උපාදානයයි. උපාදානයෙනුයි හටගන්නේ. උපාදානයෙනුයි උපදින්නේ. උපාදානයෙනුයි ප්‍රභවය වන්නේ’ කියලා.
ස්වාමීනී, ඉදින් යම් කෙනෙක් මගෙන් මේ විදිහට ඇහුවොත්, ‘ආයුෂ්මත් ආනන්ද, උපාදානයේ …. (පෙ) …. තණ්හාවේ …. (පෙ) …. විඳීමේ …. (පෙ) …. ස්වාමීනී, ඉදින් යම් කෙනෙක් මගෙන් මේ විදිහට ඇහුවොත්, ‘ආයුෂ්මත් ආනන්ද, ස්පර්ශයේ මුල මොකක්ද? හටගැනීම මොකක්ද? උපත මොකක්ද? ප්‍රභවය මොකක්ද?’ කියලා, එතකොට ස්වාමීනී, ඔය ප්‍රශ්නයට මං මේ විදිහට උත්තර දෙනවා. ‘ප්‍රිය ආයුෂ්මත්නි, ස්පර්ශයේ මුල වනාහී ආයතන හයයි. ආයතන හයෙනුයි හටගන්නේ. ආයතන හයෙනුයි උපදින්නේ. ආයතන හයෙනුයි ප්‍රභවය වන්නේ’ කියලා.
ප්‍රිය ආයුෂ්මතුනි, ස්පර්ශ ආයතන හය සහමුලින්ම නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට මේ මුළුමහත් දුක් රැසම නිරුද්ධ වෙලා යනවා. ස්වාමීනී, ඔය ප්‍රශ්නයට මං පිළිතුරු දෙන්නේ ඔය විදිහටයි.”
සාදු! සාදු!! සාදු!!!
අඤ්ඤතිත්ථිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M