සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

9.1.14. පදුම පුප්ඵ සුත්තං

9.1.14. නෙළුම් මල ගැන පැවසූ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං අඤ්‌ඤතරෝ භික්‌ඛු කෝසලේසු විහරති අඤ්‌ඤතරස්‌මිං වනසණ්ඩේ. තේන ඛෝ පන සමයේන සෝ භික්‌ඛු පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තෝ පොක්‌ඛරණිං ඕගාහෙත්‌වා පදුමං උපසිං‌ඝති. අථ ඛෝ යා තස්‌මිං වනසණ්ඩේ අධිවත්‌ථා දේවතා තස්‌ස භික්‌ඛුනෝ අනුකම්‌පිකා අත්‌ථකාමා තං භික්‌ඛුං සංවේජේතුකාමා යේන සෝ භික්‌ඛු තේනුපසංකමි. උපසංකමිත්‌වා තං භික්‌ඛුං ගාථාය අජ්‌ඣභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල එක්තරා භික්ෂුවක් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබක වාසය කළා. එදා ඒ භික්ෂුව පිණ්ඩපාතෙ කරගත්තාට පස්සේ පොකුණකට බැහැලා නෙළුම් මලක් අල්ලලා ඉම්බා.

එතකොට ඒ වන ලැහැබට අරක්ගත් දෙවියෙකුට ඒ භික්ෂුව ගැන අනුකම්පා හිතුනා. සෙත සළසන්න කැමති වුනා. ඒ භික්ෂුවට සංවේග ඇතිකරවන්න කැමති වුනා. ඒ භික්ෂුව ළඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට ගාථාවකින් පැවසුවා.

යමේතං වාරිජං පුප්‌ඵං අදින්‌නං උපසිංඝසි
ඒකංගමේතං ථෙය්‍යානං ගන්‌ධත්‌ථේනෝසි මාරිසාති.

“නිදුකාණන් වහන්ස, වතුරේ හටගත් ඔය නෙළුම ඔබට කවුරුවත් දුන්නෙ නෑ. නමුත් ඔබ ඒක ඉම්බා. ඕකත් එක්තරා හොරකමක්. ඕකෙන් ඔබ සුවඳ හොරෙක් වෙනවා.”

(භික්ඛු);

(භික්ෂුව) :

න හරාමි න භඤ්‌ජාමි ආරා සිං‌ඝාමි වාරිජං
අථ කේන නු වණ්‌ණේන ගන්‌ධත්‌ථේනෝති වුච්‌චති.

“ඉතින් මං ඒ මල ගෙනියන්නෙ නෑනෙ. කඩන්නෙත් නෑනෙ. දුර ඉඳලනෙ ඉම්බෙ. එහෙම එකේ සුවඳ හොරෙක් කියල කියන්නෙ මොන දේකින්ද?”

(දේවතා);

(දෙවියා):

ය්‌වායං භිසානි ඛණති පුණ්‌ඩරීකානි භඤ්‌ජති
ඒවං ආකිණ්‌ණකම්‌මන්‌තෝ කස්‌මා ඒසෝ න මුච්‌චතීති.

“යම් කෙනෙක් නෙළුම් අල ගැලෙව්වාට, නෙළුම් මල් කැඩුවාට, ඒ අපිරිසිදු ජීවිකා ඇති තවුසන්ට සුවඳ හොරා කියල කියන්නෙ නැත්තෙ ඇයි?

ආකිණ්‌ණලු‍ද්‌දෝ පුරිසෝ ධාතිචේලංව මක්‌ඛිතෝ
තස්‌මිං මේ වචනං නත්‌ථි තඤ්ච අරහාමි වත්‌තවේ.

ඒ පුද්ගලයා අපිරිසිදු ක්‍රියාවෙන් වෙලිච්ච කෙනෙක්. ඔහුගේ ජීවිතය කිරි අම්මාගේ ඇඳි වතේ මළ මුත්‍ර තැවරුනා වගේ. එබඳු අය ගැන මගේ කතාවක් නෑ. නමුත් ඔබට නම් මේ ගැන කියන්න ඕන.

අනං‌ගණස්‌ස පෝසස්‌ස නිච්‌චං සුචිගවේසිනෝ
වාලග්‌ගමත්‌තං පාපස්‌ස අබ්‌භාමත්‌තං ව ඛායතීති.

උපක්ලේශ නැති කෙනෙකුට නිතරම පිරිසිදු බවම සොයන කෙනෙකුට අස් ලොමක අග ගෑවුණු පොඩි වරද පවා වළාකුලක් වගේ ලොකුවට පේනවා.”

(භික්ඛු);

(භික්ෂුව) :

අද්‌ධා මං යක්‌ඛ ජානාසි අථෝ මං අනුකම්‌පසි
පුනපි යක්‌ඛ වජ්‌ජාසි යදා පස්‌සසි ඒදිසන්‌ති.

“පින්වත් දෙවිය, ඇත්ත වශයෙන්ම ඔබ මං ගැන දන්නවා. ඔබ මට අනුකම්පා කළා. පින්වත් දෙවිය, ආයෙමත් ඔය වගේ වරදක් දැක්කොත් ඒක මට පෙන්නලා දෙන්න.”

(දේවතා);

(දෙවියා) :

නේව තං උපජීවාම නපි තේ භතකාම්‌හසේ
ත්‌වමේව භික්‌ඛු ජානෙය්‍ය යේන ගච්‌ඡෙය්‍ය සුග්‌ගතින්‌ති.

“පින්වත් භික්ෂුව, මං ඔබ නිසා ජීවත් වෙන කෙනෙක් නොවෙයි. මං ඔබේ දාසයෙකුත් නොවෙයි. යම්කිසි දේකින් සුගතියට යනවා නම්, ඒක ඔබම නෙව දැනගන්න ඕන.”

අථ ඛෝ සෝ භික්‌ඛු තාය දේවතාය සංවේජිතෝ සංවේගමාපාදීති.

එතකොට ඒ භික්ෂුව ඒ දෙවියා විසින් සංවේග කරවීමෙන් සංවේගයට පත් වුනා.

සාදු! සාදු!! සාදු!!!

වන වග්ගෝ පඨමෝ.

පළමු වෙනි වන වර්ගය අවසන් විය.

තත්‍රැද්දානං –

විවේකං උපට්‌ඨානඤ්‌ච කස්‌සපගොත්‌තේන සම්‌බහුලා
ආනන්‌දෝ අනුරුද්ධඤ්ච නාගදත්‌තඤ්‌ච කුලඝරණී

වජ්‌ජිපුත්‌තෝ ච වේසාලි සජ්‌ඣායේන අයෝනිසෝ
මජ්‌ඣන්‌තිකාලම්‌හි පාකතින්‌ද්‍රියා පදුමපුප්‌ඵේන චුද්‌දස භවේති.

වන සංයුත්තං සමත්තං.

වන සංයුත්තය අවසන් විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M