සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

8.1.6. සාරිපුත්ත සුත්තං

8.1.6. සාරිපුත්ත තෙරුන් ගැන වදාළ දෙසුම

ඒකං සමයං ආයස්‌මා සාරිපුත්‌තෝ සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්‌මා සාරිපුත්‌තෝ භික්‌ඛූ ධම්‌මියා කථාය සන්‌දස්‌සේති සමාදපේති සමුත්‌තේජේති සම්‌පහංසේති, පෝරියා වාචාය විස්‌සට්‌ඨාය අනේලගලාය අත්‌ථස්‌ස විඤ්‌ඤාපනියා. තේ ච භික්‌ඛූ අට්‌ඨීකත්‌වා මනසිකත්‌වා සබ්‌බචේතසෝ සමන්‌නාහරිත්‌වා ඕහිතසෝතා ධම්‌මං සුණන්‌ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ දිනවලම ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් භික්ෂූන්ට ධර්මය කියා දෙනවා. මතු කරලා පෙන්නනවා. සමාදන් කරවනවා. උනන්දුව ඇතිකරවනවා. සතුටු කරවනවා. සැරියුත් තෙරුන් පවසන ඒ වචන ශිෂ්ට සම්පන්නයි. දොස් රහිතයි. අර්ථ ගිලිහෙන්නෙ නෑ. අර්ථය අවබෝධ වෙනවා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලාත්, මේ ප්‍රයෝජනය සළකාගෙන, හොඳට සිත යොමු කරගෙන, මුළු හිතම යොමු කරගෙන හොඳට කන් යොමාගෙන, ධර්මයට සවන් දීගෙන ඉන්නවා.

අථ ඛෝ ආයස්මතෝ වංගීසස්‌ස ඒතදහෝසි. අයං ඛෝ ආයස්‌මා සාරිපුත්‌තෝ භික්‌ඛූ ධම්‌මියා කථාය සන්‌දස්‌සේති සමාදපේති සමුත්‌තේජේති සම්‌පහංසේති පෝරියා වාචාය විස්‌සට්‌ඨාය අනේලගලාය අත්‌ථස්‌ස විඤ්‌ඤාපනියා. තේ ච භික්‌ඛූ අට්‌ඨීකත්‌වා මනසිකත්‌වා සබ්‌බචේතසෝ සමන්‌නාහරිත්‌වා ඕහිතසෝතා ධම්‌මං සුණන්‌ති. යන්නූනාහං ආයස්‌මන්‌තං සාරිපුත්‌තං සම්‌මුඛා සරූ‌පාහි ගාථාහි අභිත්‌ථවෙය්‍යන්‌ති.

එතකොට ආයුෂ්මත් වංගීස තෙරුන්ට මෙහෙම හිතුනා ‘මේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන්ට ධර්මය කියා දෙනවා. මතු කරලා පෙන්නනවා. සමාදන් කරවනවා. උනන්දුව ඇතිකරවනවා. සතුටු කරවනවා. සැරියුත් තෙරුන් පවසන ඒ වචන ශිෂ්ට සම්පන්නයි. දොස් රහිතයි. අර්ථ ගිලිහෙන්නෙ නෑ. අර්ථය අවබෝධ වෙනවා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලාත්, මේ ප්‍රයෝජනය සළකාගෙන, හොඳට සිත යොමු කරගෙන, මුළු හිතම යොමු කරගෙන හොඳට කන් යොමාගෙන, ධර්මයට සවන් දීගෙන ඉන්නවා. මං ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට ප්‍රශංසා ලැබෙන විදිහේ ගාථාවන් ඉදිරිපත් කරන්න ඕන’ කියලා.

අථ ඛෝ ආයස්‌මා වංගීසෝ උට්‌ඨායාසනා ඒකංසං උත්‌තරාසංගං කරිත්‌වා යේනායස්‌මා සාරිපුත්‌තෝ තේනඤ්‌ජලිං පණාමෙත්‌වා ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ඒතදවෝච. පටිභාති මං ආවුසෝ සාරිපුත්‌ත, පටිභාති මං ආවුසෝ සාරිපුත්‌තාති. පටිභාතු තං ආවුසෝ වංගීසාති. අථ ඛෝ ආයස්‌මා වංගීසෝ ආයස්‌මන්‌තං සාරිපුත්‌තං සම්‌මුඛා සරූ‌පාහි ගාථාහි අභිත්‌ථවි.

ඉතින් ආයුෂ්මත් වංගීසයන් ආසනයෙන් නැගිට්ටා. සිවුරු ඒකාංශ කරගත්තා. ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ට වැඳගත්තා. ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ට මෙහෙම කිව්වා.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා.”

“ප්‍රිය ආයුෂ්මත් වංගීස, ඔබට එය වැටහේවා!”

එතකොට ආයුෂ්මත් වංගීසයන් ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඉදිරියේ සුදුසු ගාථාවලින් ප්‍රශංසා කළා.

ගම්‌භීරපඤ්‌ඤෝ මේධාවී මග්‌ගාමග්‌ගස්‌ස කෝවිදෝ
සාරිපුත්‌තෝ මහාපඤ්‌ඤෝ ධම්‌මං දේසේති භික්‌ඛුනං

“සාරිපුත්තයන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. ගම්භීර ප්‍රඥාවක් තියෙනවා. හරිම බුද්ධිමත්. නිවන් මගත්, සසර මගත් ගැන තේරුම් ගන්න අතිශයින්ම දක්ෂයි. උන්වහන්සේ භික්ෂූන්ට දහම් දෙසනවා.

සංඛිත්‌තේනපි දේසේති විත්‌ථාරේනපි භාසති
සාළිකායිව නිග්‌ඝෝසෝ පටිභානං උදීරයි

කෙටියෙනුත් දහම් දෙසනවා. විස්තර වශයෙනුත් දහම් දෙසනවා. සැළලිහිණියෙකුගේ වගේ ඉතා මිහිරි හඬක් උන්වහන්සේට තියෙන්නෙ. ප්‍රතිභාන ශක්තිය ඉස්මතු වෙවී එනවා.

තස්‌ස තං දේසයන්‌තස්‌ස සුණන්‌ති මධුරං ගිරං
සරේන රජනීයේන සවණීයේන වග්‌ගුනා
උදග්‌ගචිත්‌තා මුදිතා සෝතං ඕධෙන්‌ති භික්ඛවෝති.

අර්ථ රස වෑහෙන, සවන් යුග ඇදී යන මිහිරි කන්කළු ස්වරයෙන් උන්වහන්සේ දහම් දෙසන කොට භික්ෂූන් සවන් දීගෙන ඉන්නවා. භික්ෂූන් ඒ ධර්මයට සවන් දෙන්නෙ හරිම ප්‍රීතියෙන්, ඔද වැඩුණු සිතින්.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_8-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M