අථ ඛෝ භගවා සුන්‌දරිකභාරද්‌වාජස්‌ස බ්‍රාහ්‌මණස්‌ස පදසද්‌දේන සීසං විවරි.
මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසොල් ජනපදයේ සුන්දරිකා කියන ගං තෙරය. එදා සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා ඒ සුන්දරික ගංගා තීරයේ ගිනි පූජා කරයි. පූජා ද්‍රව්‍යයන් ගින්නට පුදයි. ඉතින් සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා ගිනි පූජා පවත්වලා පූජා ද්‍රව්‍යයන් ගින්නට පුදලා, ආසනෙන් නැගිට්ටා. හාත්පස හතර දිශාව හොඳට බැලුවා. “මේ පූජාවේ ඉතිරි කොටස වළඳන්න දිය යුත්තෙ කාටද?”
එතකොට සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා එක්තරා රුක් සෙවනක හිස වසා පෙරවාගෙන, වැඩසිටින භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැකලා වම් අතින් පූජාවේ ඉතිරි කොටසත් අරගෙන, දකුණු අතින් පැන් කෙණ්ඩියක් අරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ පියවර හඬ ඇහිලා, භාග්‍යවතුන් වහන්සේ, තමන් වහන්සේගේ සිරස නිරාවරණය කළා.
ඒ වෙලාවේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා, “ආ! මේ භවතා හිස මුඩු කළ කෙනෙක් නෙව. මේ භවතා හිස මුඩු කළ කෙනෙක් නෙව” කියලා, එතනින්ම හැරිලා ආපසු යන්න කැමති වුනා. ඒ වුනත්, සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයට මෙහෙම හිතුනා. “මෙතන කොහොමත් ඇතැම් බ්‍රාහ්මණවරු ඉන්නවා, හිස මුඩු කළ උදවිය. ඒ නිසා මං මේ තැනැත්තා ළඟට ගිහින් ජාතිය අහන එක තමයි හොඳ.”
ඉතින්, සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින්, භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. “මේ භවතාගේ ජාතිය මොකක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ඉපදිච්ච ජාතිය අහන්න එපා! ඇසිය යුත්තේ ජීවත් වන ආකාරයයි. ඇත්තෙන්ම දර කැබලිවලට ගිනි තිබ්බොත්, ඇවිලෙනවාම යි. උපන් කුලය හීන වුනත්, උපන් කුලය ශ්‍රේෂ්ඨ වුනත්, ඔහු වීරියවන්ත නම්, අවබෝධයකින් යුක්ත නම්, පවට ලැජ්ජා වෙලා, එයින් වැළකී ඉන්නවා නම්, ඔහු ශ්‍රේෂ්ඨ මුනිවරයෙක්මයි.
සත්‍යාවබෝධයෙන් දමනය වෙලා නම්, ඉන්‍ද්‍රිය දමනයෙන් යුක්ත නම්, ජීවිතාවබෝධය තුළින් පරතෙරට පත්වෙලා නම්, බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කරලා නම්, දන්පැන් පූජාවකදී සුදුසු කාලයට කැඳවගත යුත්තේ අන්න ඒ කෙනාවයි. එහෙම කරන කෙනා තමයි දන් ලබන්න සුදුස්සා සොයාගෙන, නියම යාගය කරන්නෙ.”
(සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා) :
“ඇත්තෙන්ම දැනුයි මම අවබෝධයේ පරතෙරට පත් උත්තමයෙක්ව දැකගත්තෙ. මේක තමයි හැබෑම පූජාව. මේක තමයි හැබෑම ගිනි පිදීම. ඔබ වහන්සේ වැනි උත්තමයන් දැකගන්ට නැති නිසා, මේ පූජාවේ ඉතිරි කොටස වළඳන්නෙ අනිත් උදවිය නෙව.
භවත් ගෞතමයන් වහන්ස, වළඳන සේක්වා! භවතාණෝ බ්‍රාහ්මණයෙක්මයි.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“පින්වත් බ්‍රාහ්මණය, ගාථාවන් පවසලා, ලැබෙන දානෙ වැළඳීම සුදුසු නෑ. පිරිසිදු ජීවිතය හඳුනන අයගේ ස්වභාවය ඒක නොවෙයි. බුදුවරයන් වහන්සේලා ගාථා කියල ලබන බොජුන් බැහැර කරනවා. පින්වත් බ්‍රාහ්මණය, ජීවිතයක ධර්මය තියෙන කොට, පවතින්නෙ මේ විදිහට තමයි.
ගුණයෙන් පිරිපුන්, සැක-කුකුස් සංසිඳුන, කෙලෙසුන් නැති කළ, අරහත් මහ ඉසිවරයන් වහන්සේලා තව ඉන්නවා. උන්වහන්සේලාට දන්-පැන් වලින් උපස්ථාන කරන්න. පින්වලට ආශා කරන උදවියගේ පින්කෙත ඒක තමයි.”
(සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා) :
“එතකොට පින්වත් ගෞතමයන් වහන්ස, මං මේ පූජාවෙ ඉතුරු කොටස කාටද දෙන්නෙ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“පින්වත් බ්‍රාහ්මණය, ඔය පූජාවේ ඉතිරි කොටස තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙක් හෝ, වැළඳුවොත් විතරයි හොඳට දිරවන්නෙ. එහෙම නැතුව පින්වත් බ්‍රාහ්මණය, මේ පූජාවෙ ඉතුරු කොටස වළඳලා, හොඳට දිරවන කෙනෙක් දෙවියන් සහිත වූ, මරුන් සහිත වු, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ දෙව්මිනිස් ප්‍රජාව තුළ මම නම් දකින්නෙ නෑ. පින්වත් බ්‍රාහ්මණය, එහෙම නම්, ඔය පූජාවේ ඉතුරු කොටස, තණකොළ නැති තැනක හරි දමන්න. ප්‍රාණීන් රහිත වතුරක හරි පා කරලා හරින්න.”
එතකොට සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා පූජාවේ ඉතිරි කොටස ප්‍රාණීන් රහිත වතුරේ පා කොට හැරියා. ඉතින් ඒ පූජාවේ ඉතිරි කොටස, වතුරට දැම්මට පස්සෙ ‘චිටි, චිටි’ කියන ශබ්දයෙන් දුම් දමන්න පටන් ගත්තා. වඩාත් දුම් දමන්න පටන් ගත්තා. දවල් කාලෙ හොඳට රත්වෙච්ච හී වැලක් වතුරට දමද්දී, ‘චිටි, චිටි’ ගාලා දුම් දානවා වගේ, ගොඩක් දුම් දමනවා වගේ, අන්න ඒ විදිහටම, ඒ පූජාවේ ඉතිරි කොටස වතුරට දැම්මාම ‘චිටි, චිටි’ ගාමින් දුම් දමන්න පටන් ගත්තා. ගොඩක් දුම් දමන්න පටන් ගත්තා.
ඒ මොහොතේ, සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා සංවේගයට පත් වුනා. ඇඟේ මවිල් කෙළින් වුනා. ඔහු භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින්, පැත්තකින් හිටගත්තා. පැත්තකින් සිටගත් සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ ගාථාවලින් වදාළා.
“පින්වත් බ්‍රාහ්මණය, ඔය දර පුච්චලා පිරිසිදු බවක් වෙයි කියල හිතන්න එපා. ඕක නිකම්ම නිකන් බාහිර දෙයක්. යම් කෙනෙක් ඔය බාහිර දේවල් වලින් පිරිසිදු බවක් ලබන්න කැමති වුනත්, ඔවැනි දේවල් වලින් පිරිසිදු වෙනවා කියලා, පිරිසිදු බව ගැන හැබෑවටම දක්‍ෂ වූ ආර්යන් වහන්සේලා කියන්නෙ නෑ.
පින්වත් බ්‍රාහ්මණය, මම නම්, ඔය දර පිච්චිල්ල අත්හැරපු කෙනෙක්. මම ගින්න දල්වන්නෙ මේ හිත ඇතුළේ. නිතරම දැල්වුන ප්‍රඥාව නැමැති ගින්න තියෙනවා. නිතරම හිත එකඟ වෙලා තියෙන්නෙ. මං නිකෙලෙස් සිතක් ඇතුවයි මේ බ්‍රහ්මචාරී ජීවිතේ ගෙවන්නෙ.
පින්වත් බ්‍රාහ්මණය, ඔබේ ඔය තාපස පිරිකරවල තියෙන්නෙ මාන්නය විතරයි. ක්‍රෝධයෙන් දුම් දානවා. බොරු කීම නැමැති අළු ඉතුරු වෙනවා. දිව තමයි යාග කරන හැන්ද. නමුත්, ගිනි දැල්වෙන තැන විය යුත්තෙ හදවතයි. පුරුෂයෙකුගේ මැනවින් දමනය වෙච්ච හිත තමයි බබලන්නෙ.
පින්වත් බ්‍රාහ්මණය, ධර්මය තමයි ජලාශය. සීලය තමයි ඒකට බහින තොටුපල. නොකැළඹුණු සිත් ඇතිව ඉන්න කොට, සත්පුරුෂයන් හැමවිටම ප්‍රශංසා කරනවා. ඇත්තෙන්ම දහම තුළ පරතෙරට ගිය උතුමන්, ඒ ජලාශෙන් වතුර නානවා. ඒකට ඇඟ තෙමෙන්නෙ නැතුවමයි පරතෙරට යන්නෙ.
පින්වත් බ්‍රාහ්මණය, සත්‍ය වචනයත්. ආර්ය ධර්මයත්, සංවරකමත්, බ්‍රහ්මචාරී බවත්, කියන මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නෙ. ඒ නිසා ඔබත් ඇද නැති ගතිගුණ ඇති රහතුන්ට වන්දනා කරන්න. අන්න ඒ කෙනාට තමයි ‘ධර්මයේ හැසිරෙන කෙනා’ කියලා කියන්නෙ.”
භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළ විට, සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතාම සුන්දරයි! …. (පෙ) …. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේත් රහතන් වහන්සේලා අතර කෙනෙක් වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M