සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

6.1.3. බ්‍රහ්මදේව සුත්තං

6.1.3. බ්‍රහ්මදේව තෙරුන් අරභයා මහා බ්‍රහ්මයා පැවසූ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තේන ඛෝ පන සමයේන අඤ්‌ඤතරිස්‌සා බ්‍රාහ්‌මණියා බ්‍රහ්‌මදේවෝ නාම පුත්‌තෝ භගවතෝ සන්තිකේ අගාරස්‌මා අනගාරියං පබ්බජිතෝ හෝති. අථ ඛෝ ආයස්‌මා බ්‍රහ්‌මදේවෝ ඒකෝ වූපකට්‌ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ නචිරස්‌සේව යස්‌සත්‌ථාය කුලපුත්‌තා සම්මදේව අගාරස්‌මා අනගාරියං පබ්‌බජන්‌ති තදනුත්‌තරං බ්‍රහ්‌මචරියපරියෝසානං දිට්‌ඨේව ධම්‌මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහාසි. ඛීණා ජාති වුසිතං බ්‍රහ්‌මචරියං කතං කරණීයං නාපරං ඉත්‌ථත්‌තායාති අබ්‌භඤ්‌ඤාසි. අඤ්‌ඤතරෝ ච පනායස්‌මා බ්‍රහ්‌මදේවෝ අරහතං අහෝසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

ඒ දිනවලම එක්තරා බැමිණියකගේ බ්‍රහ්මදේව නම් පුතෙක් ගිහි ගේ අත්හැරලා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිදි වුනා. ඉතින් ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙරුන් තනි වුනා. හුදෙකලා වුනා. අප්‍රමාදී වුනා. කෙලෙස් තවන වීරියෙන් දහමට දිවි පුරා වාසය කරන කොට කුලපුත්‍රයෝ ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි වෙන්නෙ යම් උතුම් අදහසකින්ද, අන්න ඒ නිවන් මගේ අවසානය වන අරහත්වය සුළු කලක් ඇතුළත තමා තුළින්ම අවබෝධ කරගෙන වාසය කළා. ඉපදීම නැති වුනා. නිවන් මඟ සම්පූර්ණ කරගත්තා. කළයුතු දේ කර අවසන් වුනා. ආයෙ නම් සසර දුකක් නැතැයි අවබෝධ වුනා. ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙරුන් රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත්වුනා.

අථ ඛෝ ආයස්‌මා බ්‍රහ්‌මදේවෝ පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සාවත්‌ථිං පිණ්‌ඩාය පාවිසි. සාවත්‌ථියං සපදානං පිණ්‌ඩාය චරමානෝ යේන සකමාතු නිවේසනං තේනුපසංකමි. තේන ඛෝ පන සමයේන ආයස්මතෝ බ්‍රහ්‌මදේවස්‌ස මාතා බ්‍රාහ්‌මණී බ්‍රහ්‌මුනෝ ආහුතිං නිච්‌චං පග්‌ගණ්‌හාති. අථ ඛෝ බ්‍රහ්‌මුනෝ සහම්‌පතිස්‌ස ඒතදහෝසි. අයං ඛෝ ආයස්මතෝ බ්‍රහ්‌මදේවස්‌ස මාතා බ්‍රාහ්‌මණී බ්‍රහ්‌මුනෝ ආහුතිං නිච්‌චං පග්‌ගණ්‌හාති. යන්නූනාහං තං උපසංකමිත්‌වා සංවේජෙය්‍යන්‌ති.

ඉතින් ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙරුන් එදා උදේ වරුවේ සිවුරු පොරෝගෙන, පාත්තර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිණ්ඩපාතෙ ගියා. සැවැත් නුවර ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩින කොට තම මව්ගේ නිවසටත් පැමිණුනා. ඒ මොහොතේ ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙරුන්ගේ මව් බැමිණිය, බ්‍රහ්මයාට නිතර පුදපූජාවල් තියනවා. එතකොට සහම්පතී බ්‍රහ්මයාට මෙහෙම හිතුනා. මේ ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙරුන්ගේ මව් බැමිණිය බ්‍රහ්මයාට නිතර පුදපූජාවල් තියනවා. මං ඈව සංවේගයට පත් කරවන්න ඕන.

අථ ඛෝ බ්‍රහ්‌මා සහම්‌පති සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්‌ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්‌ජෙය්‍ය ඒවමේවං බ්‍රහ්‌මලෝකේ අන්‌තරහිතෝ ආයස්මතෝ බ්‍රහ්‌මදේවස්‌ස මාතුනිවේසනේ පාතුරහෝසි. අථ ඛෝ බ්‍රහ්‌මා සහම්‌පති වේහාසං ඨිතෝ ආයස්මතෝ බ්‍රහ්‌මදේවස්‌ස මාතරං බ්‍රාහ්‌මණිං ගාථාහි අජ්‌ඣභාසි.

ඊට පස්සෙ සහම්පතී බ්‍රහ්මයා බලවත් කෙනෙක් හැකිලූ අතක් දිගහරින වේගයෙන්, දික් කළ අතක් හකුළන වේගයෙන් බඹලොවින් අතුරුදහන් වෙලා ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙරුන්ගේ මෑණියන්ගේ නිවසේ පහළ වුනා. ඉතින් සහම්පතී බ්‍රහ්මයා අහසේ සිට ගෙන, ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙරුන්ගේ මව් බැමිණියට ගාථාවලින් පැවසුවා.

දූරේ ඉතෝ බ්‍රාහ්‌මණී බ්‍රහ්‌මලෝකෝ යස්‌සාහුතිං පග්‌ගණ්‌හාසි නිච්‌චං
නේතාදිසෝ බ්‍රාහ්‌මණී බ්‍රහ්‌මභක්‌ඛෝ කිං ජප්‌පසි බ්‍රහ්‌මපථං අජානන්ති

“පින්වත් බැමිණිය, ඔබ යම් බඹෙකුට හැමතිස්සෙම පුදපූජාවල් කළත්, බ්‍රහ්මලෝකෙ මෙහෙ ඉඳල කොයිතරම් දුරද? පින්වත් බැමිණිය, මේ ජාතියෙ දේවල් බ්‍රහ්මයෝ අනුභව කරන්නෙ නෑ. බඹලොවට යන මාර්ගය නොදැන ඔය ජප කරන්නෙ මොනවාද?

ඒසෝ හි තේ බ්‍රාහ්‌මණී බ්‍රහ්‌මදේවෝ නිරුපධිකෝ අතිදේවප්පත්‌තෝ
අකිඤ්‌චනෝ භික්‌ඛු අනඤ්‌ඤපෝසී යෝ තේ සෝ පිණ්‌ඩාය ඝරං පවිට්‌ඨෝ.

ඒත් පින්වත් බැමිණිය, ඔබේ පුතණුවන් වන බ්‍රහ්මදේව තෙරුන් කෙලෙස් රහිතයි. දේවාතිදේව බවට පත්වෙලා ඉන්නෙ. ඔහු නිකෙලෙස් භික්‍ෂුවක්. ඔහු වෙන කෙනෙක්ව පෝෂණය කරන්නෙ නෑ. දැන් ඔබේ නිවසට පිණ්ඩපාතෙ වැඩලයි ඉන්නෙ.

ආහුනෙය්‍යෝ වේදගූ භාවිතත්‌තෝ නරානං දේවානඤ්‌ච දක්‌ඛිණෙය්‍යෝ
බාහිත්‌වා පාපානි අනුපලිත්‌තෝ ඝාසේසනං ඉරීයති සීතිභූතෝ

ඒ තෙරුන් දන්පැන් පිළිගැනීමට සුදුසුයි. දහමේ පරතෙරට වැඩල ඉන්නෙ. තමා තුළ වඩන ලද හිතක් තියෙනවා. දෙවිමිනිසුන්ගේ දානය පිළිගන්න සුදුසුයි. පව් බැහැර කරලයි ඉන්නෙ. පව් සමඟ ගණුදෙනුවක් නෑ. සිසිල් වෙලා ඉන්නෙ. කුසගිනි නිවාගන්න විතරයි දානෙ චුට්ටක් සොයන්නෙ.

න තස්‌ස පච්‌ඡා න පුරත්‌ථමත්‌ථි සන්‌තෝ විධූමෝ අනීඝෝ නිරාසෝ
නික්‌ඛිත්‌තදණ්‌ඩෝ තසථාවරේසු සෝ ත්‍යාහුතිං භුඤ්‌ජතු අග්‌ගපිණ්‌ඩං

උන්වහන්සේට අතීතය ගැන ආශාවක් නෑ. අනාගතේ ගැනත් ආශාවක් නෑ. ශාන්තයි. ක්‍රෝධ දුම් රහිතයි. දුකක් නෑ. තණ්හාවක් නෑ. තැතිගන්න තැති නොගන්න හැම කෙනෙක් කෙරෙහිම දඬුමුගුරු අත්හැර තියෙන්නෙ. අන්න ඒ තෙරුන්ට ඔබේ පූජාවේ අග්‍ර කොටස වළඳන්න ලැබේවා!

විසේනිභූතෝ උපසන්‌තචිත්‌තෝ නාගෝව දන්‌තෝ චරති අනේජෝ
භික්‌ඛු සුසීලෝ සුවිමුත්‌තචිත්‌තෝ සෝ ත්‍යාහුතිං භුඤ්‌ජතු අග්‌ගපිණ්‌ඩං

උන්වහන්සේ කෙලෙස් රහිතයි. උපශාන්ත සිතින් යුක්තයි. දමනය වුන හස්තිරාජයෙක් වගෙයි. තෘෂ්ණා රහිතයි. ඉතා සිල්වත් භික්‍ෂුවක්. ඉතා හොඳින් කෙලෙසුන්ගෙන් නිදහස් වූ සිතින් යුතුයි. අන්න ඒ තෙරුන්ට ඔබේ පූජාවේ අග්‍ර කොටස වළඳන්න ලැබේවා!

තස්‌මිං පසන්‌නා අවිකම්‌පමානා පතිට්‌ඨපේහි දක්‌ඛිණං දක්‌ඛිණෙය්‍යේ
කරෝහි පුඤ්‌ඤං සුඛමායතිකං දිස්‌වා මුනිං බ්‍රාහ්‌මණී ඕඝතිණ්‌ණන්‌ති.

පින්වත් බැමිණිය, හිත පහදවාගන්න. අචල ශ්‍රද්ධාව පිහිටුවා ගන්න. දන්පැන් ලැබීමට සුදුසු වූ උන්වහන්සේට දානෙ ටිකක් පූජා කරගන්න. සසර සැඩපහර තරණය කළ මුනිවරයෙක් දැකලා, මතු සැප ලැබෙන පින් කරගන්න.

තස්‌මිං පසන්‌නා අවිකම්‌පමානා පතිට්‌ඨපේසි දක්‌ඛිණං දක්‌ඛිණෙය්‍යේ
අකාසි පුඤ්‌ඤං සුඛමායතිකං දිස්‌වා මුනිං බ්‍රාහ්‌මණී ඕඝතිණ්‌ණන්‌ති.

ඉතින් ඒ බැමිණිය හිත පහදවාගත්තා. අචල ශ්‍රද්ධාව පිහිටුවා ගත්තා. දන්පැන් ලැබීමට සුදුසු උන්වහන්සේට දානෙ පූජා කරගත්තා. සසර සැඩපහර තරණය කළ ඒ මුනිවරයා දැකලා, මතු සැප ලැබෙන පින් කරගත්තා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M