සැවැත් නුවරදී ………………………
එදා වජිරා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා දවල් කාලෙ ගතකරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුළටම ගිහින් එක්තරා රුක්සෙවනක දවල් කාලෙ වාඩිවෙලා හිටියා.
එතකොට පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇතිවුනා. “වජිරා භික්ෂුණියව භය කරවන්න ඕන. තැති ගන්වන්න ඕන. මවිල් කෙලින් කරවන්න ඕන. සමාධියෙන් දුරුකරවන්න ඕන” කියලා. ඊට පස්සේ මාරයා වජිරා භික්ෂුණිය ළඟට ගියා. ගිහින් වජිරා භික්ෂුණියට ගාථාවක් කිව්වා.
“මේ සත්වයාව හැදුවෙ කවුරුන් විසින්ද? මේ සත්වයාව හදපු එක්කෙනා ඉන්නෙ කෙහෙද? මේ සත්වයා ඉපදුනේ මොකෙන්ද? මේ සත්වයා නිරුද්ධ වෙන්නෙ කොහොමද?”
එතකොට වජිරා භික්ෂුණියට මෙහෙම හිතුනා. “කවුද මෙයා? මිනිහෙක්ද? අමනුෂ්‍යයෙක්ද? මේ ගාථා කියන්නෙ?” ඉතින් වජිරා භික්ෂුණියට මෙහෙම හිතුනා. “මේ තමයි පාපී මාරයා මාව භය කරවන්න, තැති ගන්වන්න, ඇඟේ මවිල් කෙළින් කරවන්න, සමාධියෙන් දුරු කරවන්නයි ඔය ගාථා කියන්නෙ.” ඉතින් වජිරා භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, පවිටු මාරයාට ගාථා වලින් පිළිතුරු දුන්නා.
“ඒයි මාරය, මොකක්ද? සත්වයෙක් කියලද කියන්නෙ? ඒක ඔබේ මාර දෘෂ්ටියක් නෙව. මෙතන තියෙන්නෙ හුදු සංස්කාර ගුලියක්. මේකෙ සත්වයෙක් හොයාගන්න නෑ.
අංගෝපාංග එකතු වෙලා තමයි ‘රථය’ කියන ශබ්දය ඇතිවෙන්නෙ. අන්න ඒ විදිහමයි මේ පංච උපාදානස්කන්ධය තියෙන කොටයි ‘සත්වයා’ කියන සම්මුතිය ඇතිවෙන්නෙ.
හටගන්න තිබෙන්නේ දුක විතරයි. පවතින්නෙත් දුකමයි. දුක මිසක් හටගන්න වෙන දෙයක් නෑ. දුක මිසක් නැතිවෙන්න වෙන දේකුත් නෑ.”
එතකොට පවිටු මාරයා, ‘වජිරා භික්ෂුණිය මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම අතුරුදහන් වුනා.
සාදු! සාදු!! සාදු!!!
පළමුවෙනි භික්ඛුනී වර්ගය අවසන් විය.
භික්ඛුනී සංයුත්තය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_5-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M