මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා ආළවිකා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන සැවැත් නුවරට පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා චිත්ත විවේකය කැමතිව අන්ධ වනයට පිටත්වුනා. එතකොට පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇතිවුනා. “ආළවිකා භික්ෂුණියව භය කරවන්න ඕන. තැති ගන්වන්න ඕන. මවිල් කෙලින් කරවන්න ඕන. චිත්ත විවේකය නැති කරවන්න ඕන” කියලා. ඊට පස්සේ මාරයා ආළවිකා භික්ෂුණිය ළඟට ගියා. ගිහින් ආළවිකා භික්ෂුණියට ගාථාවක් කිව්වා.
“මේ ලෝකයේ නිවන කියල දෙයක් නෑ. ඔය චිත්ත විවේකයෙන් කුමක් කරන්නද? කාම සැප විඳල ඉන්න. ඔන්න පස්සේ දුක් වෙන්න එපා!”
එතකොට ආළවිකා භික්ෂුණියට මෙහෙම හිතුනා. “කවුද මෙයා? මිනිහෙක්ද? අමනුෂ්‍යයෙක්ද? මේ ගාථා කියන්නෙ?” ඉතින් ආළවිකා භික්ෂුණියට මෙහෙම හිතුනා. “මේ තමයි පාපී මාරයා. මාව භය කරවන්න, තැති ගන්වන්න, ඇඟේ මවිල් කෙළින් කරවන්න, චිත්ත විවේකයෙන් දුරු කරවන්නටයි ඔය ගාථා කියන්නෙ” කියලා. ඉතින් ආළවිකා භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, පවිටු මාරයාට ගාථාවලින් පිළිතුරු දුන්නා.
“ලෝකයේ නිවන කියල දෙයක් තියෙනවා. මට ඒක ප්‍රඥාවෙන් අවබෝධ වුනා. පමා වූ ජනයාගේ ඤාතියා වන මාරය, ඔබ ඒ අමා නිවන ගැන දන්නෙ නැති කෙනෙක්.
කාමය කියන්නෙ දරුණු ආයුධ වගේ දේවල්. මේ රූපස්කන්ධය ඒ කාමයන්ට මස් වැදැලි වගේ. ඔබ කාම සැපයක්ය කියල යම් දේකට කියනවා නම්, මට ඒක අරතියක්මයි”
එතකොට පවිටු මාරයා, ‘මේ ආළවිකා භික්ෂුණිය මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම අතුරුදහන් වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_5-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M