සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එකත්පසක සිටි පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, මං හුදෙකලාවෙ තනියම ඉන්න කොට, මට මෙහෙම කල්පනාවක් ඇතිවුනා. ‘තමන්ව ප්‍රිය කාටද? තමන්ව අප්‍රිය කාටද?’ කියලා. එතකොට ස්වාමීනි, මට මෙහෙම හිතුනා. සමහර උදවිය ඉන්නවා. ඒගොල්ලො කයින් වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා. සිතින් වැරදි කරනවා. ඇත්තෙන්ම ඔවුන්ට තමන්ව ප්‍රිය නෑ. නමුත් ඔවුන් කථාවට විතරක් කියනවා ‘තමාට තමාව ප්‍රියයි’ කියලා. ඒ වුනාට ඔවුන්ට තමන්වමයි ප්‍රිය නැත්තෙ. ඇයි එහෙම වෙන්නෙ? අප්‍රිය කෙනෙක් තවත් අප්‍රිය කෙනෙකුට යම් දෙයක් කරනවාද, අන්න ඒ දේ තමයි එයාලා තමතමන්ට කරගන්නෙ. ඒ නිසා ඔවුන්ට තමන්ව ප්‍රිය නෑ.
සමහර උදවිය ඉන්නවා. එයාල කයින් යහපත් දේ කරනවා. වචනයෙන් යහපත් දේ කරනවා. සිතින් යහපත් දේ කරනවා. ඔවුන්ට තමන්ව ප්‍රියයි. නමුත් වචනෙට විතරයි කියන්නෙ ‘තමන්ව ප්‍රිය නෑ’ කියලා. ඒ වුනාට ඔවුන්ට තමන්ව ප්‍රියයි. ඇයි ඒක එහෙම වෙන්නෙ? ප්‍රිය කෙනෙක් තමන්ට ප්‍රිය වූ කෙනෙකුට යම් දෙයක් කරනවාද, අන්න ඒ දේ තමයි ඔවුන් තම තමන්ට කරගන්නෙ. ඒ නිසා ඔවුන්ට තමන්ව ප්‍රියයි.”
“පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. සමහර උදවිය ඉන්නවා එයාල කයින් වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා. සිතෙන් වැරදි කරනවා. ඇත්තෙන්ම ඔවුන්ට තමන්ව ප්‍රිය නෑ. නමුත් ඔවුන් කථාවට විතරක් කියනවා ‘තමන්ට තමන්ව ප්‍රියයි’ කියලා. ඒ වුනාට ඔවුන්ට ඔවුන්ව ප්‍රිය නෑ. ඇයි ඒක එහෙම වෙන්නෙ? පින්වත් මහාරාජ, අප්‍රිය කෙනෙක් තවත් අප්‍රිය කෙනෙකුට යමක් කරනවාද, ඒක තමයි ඔවුන් තම තමන්ට කරගන්නෙ. ඒ නිසා, ඔවුන්ට ඔවුන්ව ප්‍රිය නෑ.
ඒ වගේම පින්වත් මහාරාජ, සමහර උදවිය ඉන්නවා එයාලා කයින් යහපත් දේ කරනවා. වචනයෙන් යහපත් දේ කරනවා. සිතින් යහපත් දේ කරනවා. ඔවුන්ට තමන්ව ප්‍රියයි. ඒ වුනත් ඔවුන් කථාවට විතරයි කියන්නෙ ‘තමන්ට තමන්ව ප්‍රිය නෑ’ කියලා. ඒ වුනාට ඔවුන්ට තමන්ව ප්‍රියයි. ඇයි ඒක එහෙම වෙන්නෙ? පින්වත් මහාරාජ, ප්‍රිය වූ කෙනෙක්, තමන්ට ප්‍රිය වූ කෙනෙකුට යම් දෙයක් කරනවාද, අන්න ඒ දේ තමයි ඔවුන් තම තමන්ට කරගන්නෙ. ඒ නිසා ඔවුන්ට තමන්ට ප්‍රියයි.
ඉතින් තමන්ට ප්‍රිය බව දන්නවා නම්, තමාව පාපයට යොදවන්නෙ නෑ. පව් කරන කෙනෙකුට සැපය සුවසේ ලබනවා කියන එක ලේසි දෙයක් නොවෙයි.
මාරයාගේ ග්‍රහණයට හසුවෙච්ච සත්වයා, මනුස්ස ජීවිතේ අත්හරින කොට, එයාට තමන්ගේ කියල ගෙනියන්න තියෙන්නෙ මොනවාද? එයා අරගෙන යන්නෙ මොනවාද? තමාව අත්නොහරින සෙවනැල්ල වගේ, තමාත් එක්ක ගමන් කරන දෙයක් එයාට තියෙනවාද?
මනුස්ස ජීවිතේදී, මෙතනදී රැස් කරන පින්පව් දෙක විතරයි තියෙන්නෙ. තමන්ගේ දෙයක් හැටියට ඉතුරු වෙන්නෙ එච්චරයි. අරගෙන යන්න තියෙන්නෙත් එච්චරයි. තමාව අත්නොහරින සෙවනැල්ල වගේ, ඒක තමාගේ පසුපස්සෙන් එනවා.
ඒ නිසා පරලොවට පිහිට වෙන යහපත් පින්කම් කරන්න ඕන. පරලොවදී සත්වයන්ට පිහිට වෙන්නෙ පින විතරයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M