සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

3.1.1. දහර සුත්තං

3.1.1. ළදරුවා ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවතා සද්‌ධිං සම්‌මෝදි. සම්‌මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ රාජා පසේනදි කෝසලෝ භගවන්‌තං ඒතදවෝච. භවම්‌පි නෝ ගෝතමෝ අනුත්‌තරං සම්‌මාසම්‌බෝධිං අභිසම්‌බුද්‌ධෝති පටිජානාතීති?

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. පිළිසඳර කතා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන පසේනදී කොසොල් මහරජතුමා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

“භවත් ගෞතමයන් වහන්සේ පවා අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරපු කෙනෙක් හැටියට තමන්ව හඳුන්වනවාද?”

යං හි තං මහාරාජ සම්‌මා වදමානෝ වදෙය්‍ය, අනුත්‌තරං සම්‌මාසම්‌බෝධිං අභිසම්‌බුද්‌ධෝති, මමං තං සම්‌මා වදමානෝ වදෙය්‍ය. අහං හි මහාරාජ අනුත්‌තරං සම්‌මාසම්‌බෝධිං අභිසම්‌බුද්‌ධෝති.

“පින්වත් මහාරාජ, නියාමාකාරයෙන්ම යමෙකුට කියනවා නම්, අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළා කියලා, එහෙම නියම ආකාරයෙන් කිව යුත්තෙ මං ගැන තමයි. පින්වත් මහාරාජ, මම තමයි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළේ.”

යේපි තේ භෝ ගෝතම සමණබ්‍රාහ්‌මණා සං‌ඝිනෝ ගණිනෝ ගණාචරියා ඤාතා යසස්‌සිනෝ තිත්‌ථකරා සාධුසම්‌මතා බහුජනස්‌ස. සෙය්‍යථීදං – පූරණෝ කස්‌සපෝ, මක්‌ඛලි ගෝසාලෝ, නිගණ්‌ඨෝ නාතපුත්‌තෝ, සඤ්‌ජයෝ බේලට්‌ඨපුත්‌තෝ, පකුධෝ කච්‌චායනෝ, අජිතෝ කේසකම්‌බලෝ. තේපි “මයා අනුත්‌තරං සම්‌මාසම්‌බෝධිං අභිසම්‌බුද්‌ධාති පටිජානාථා”ති පුට්‌ඨා සමානා අනුත්‌තරං සම්‌මාසම්‌බොධිං අභිසම්‌බුද්‌ධෝති න පටිජානන්‌ති. කිං පන භවං ගෝතමෝ දහරෝ චේව ජාතියා නවෝ ච පබ්‌බජ්‌ජායාති.

“භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රාවක පිරිස් සිටින පැවිදි පිරිස් සිටින, තම පිරිසට ආචාර්ය වූ, ප්‍රසිද්ධ වූ, කීර්තිමත් වූ, ආගමික මත කියන්නා වූ, බොහෝ ජනයා විසින් හොඳයි කියල සම්මත කරපු ශ්‍රමණබ්‍රාහ්මණවරු ඉන්නවා. ඔවුන්ට තමයි, පූරණකස්සප, මක්ඛලීගෝසාල, නිගණ්ඨ නාතපුත්ත, සංජය බෙල්ලට්ඨිපුත්ත, පකුධ කච්චායන, අජිත කේසකම්බල කියල කියන්නෙ. නමුත් තමන් අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ බවට තමන්ව හඳුන්වා දෙනවා දැයි කියා ඔවුන්ගෙන් ඇහුවොත්, ඔවුන් පවා තමන් අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ බවට ප්‍රතිඥා දෙන්නෙ නෑ. ඒ වුනත් භවත් ගෞතමයන් වහන්ස, ඔබවහන්සේ තවම උපතිනුත් ළදරුවෙක් නෙව? පැවිද්දෙනුත් නවකයෙක් නෙව?”

චත්‌තාරෝ ඛෝ මේ මහාරාජ දහරාති න උඤ්‌ඤාතබ්‌බා, දහරාති න පරිභෝතබ්‌බා. කතමේ චත්‌තාරෝ? ඛත්‌තියෝ ඛෝ මහාරාජ දහරෝති න උඤ්‌ඤාතබ්‌බෝ, දහරෝති න පරිභෝතබ්‌බෝ. උරගෝ ඛෝ මහාරාජ දහරෝති න උඤ්‌ඤාතබ්‌බෝ, දහරෝති න පරිභෝතබ්‌බෝ. අග්‌ගි ඛෝ මහාරාජ දහරෝති න උඤ්‌ඤාතබ්‌බෝ, දහරෝති න පරිභෝතබ්‌බෝ. භික්‌ඛු ඛෝ මහාරාජ දහරෝති න උඤ්‌ඤාතබ්‌බෝ, දහරෝති න පරිභෝතබ්‌බෝ. ඉමේ ඛෝ මහාරාජ චත්‌තාරෝ දහරාති න උඤ්‌ඤාතබ්‌බා, දහරාති න පරිභෝතබ්‌බාති.

“පින්වත් මහාරාජ, ළදරුය කියල අවමන් නොකළ යුතු, ළදරුය කියල පරිභව නොකළ යුතු හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා කවුද? පින්වත් මහාරාජ, රාජවංශික කුමාරයා ළදරුය කියල අවමන් නොකළ යුතුයි. පරිභව නොකළ යුතුයි. පින්වත් මහාරාජ, විෂඝෝර සර්ප පැටියා ළදරුය කියල අවමන් නොකළ යුතුයි. පරිභව නොකළ යුතුයි. පින්වත් මහාරාජ, ගින්දර ළදරුය කියල අවමන් නොකළ යුතුයි. පරිභව නොකළ යුතුයි. පින්වත් මහාරාජ, භික්‍ෂුව ළදරුය කියල අවමන් නොකළ යුතුයි. පරිභව නොකළ යුතුයි. පින්වත් මහාරාජ, මේ හතර දෙනා ළදරුය කියල අවමන් නොකළ යුතුයි. පරිභව නොකළ යුතුයි.”

ඉදමවෝච භගවා, ඉදං වත්‌වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්‌ථා.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. ඊට පස්සෙ සුගත වූ ශාස්තෘන් වහන්සේ මේ ගාථාවන් ද වදාළා.

ඛත්‌තියං ජාතිසම්‌පන්‌නං අභිජාතං යසස්‌සිනං
දහරෝති නාවජානෙය්‍ය න නං පරිභවේ නරෝ

“රජ කුලයේ උපන්, විශිෂ්ට උපතක් ඇති, කීර්තිමත් රාජවංශික කුමරා ළදරුවෙක්ය කියල කවුරුවත් අවමන් කරන්නෙ නෑ. ඔහුට පරිභව කරන්නෙත් නෑ.

ඨානං හි සෝ මනුස්සින්දෝ රජ්‌ජං ලද්‌ධාන ඛත්‌තියෝ
සෝ කුද්‌ධෝ රාජදණ්‌ඩේන තස්‌මිං පක්‌කමතේ භුසං
තස්‌මා තං පරිවජ්‌ජෙය්‍ය රක්‌ඛං ජීවිතමත්‌තනෝ

මෙහෙමත් දෙයක් තියෙනවා. මිනිසුන්ට ප්‍රධාන වූ ඒ රාජවංශික කුමාරයා රජකම ලැබුනට පස්සේ ඔහුට අවමන් කරපු පුද්ගලයා ගැන කිපෙනවා. ඒ පුද්ගලයාට තදබල විදිහට රාජ දඬුවම් දෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතය රැකගන්න කෙනා රාජ කුමාරයත් එක්ක හැප්පෙන්න යන්නෙ නෑ.

ගාමේ වා යදි වා රඤ්‌ඤේ යත්‌ථ පස්‌සේ භුජං‌ගමං
දහරෝති නාවජානෙය්‍ය න නං පරිභවේ නරෝ.

ඒ වගේම කෙනෙකුට ගමක හරි, වනාන්තරේක හරි, සර්පයෙක්ව දකින්න ලැබෙනවා. ඔහු ඌ ළදරුවෙක්ය කියල අවමන් කරන්නෙ නෑ. පරිභව කරන්නෙ නෑ.

උච්‌චාවචේහි වණ්‌ණේහි උරගෝ චරති තේජසී
සෝ ආසජ්‌ජ ඩසේ බාලං නරං නාරිඤ්‌ච ඒකදා
තස්‌මා තං පරිවජ්‌ජෙය්‍ය රක්‌ඛං ජීවිතමත්‌තනෝ.

මහා තේජස් තියෙන සර්පයො ඉන්නවා. ඒ සර්පයන් නොයෙක් වේශයෙන් හැසිරෙනවා. ඌ කිපුනොත් ඒ තමන්ට අවමන් කරපු අඥාන පුරුෂයාව හරි, ස්ත්‍රියව හරි හොයාගෙන ඇවිදින් දෂ්ට කරනවා. ඒ නිසා තමන්ගේ ජීවිතය රැකගන්න ඕන කෙනා ළදරුය කියල සර්පයා එක්ක හැප්පෙන්න යන්නෙ නෑ.

පහූතභක්‌ඛං ජාලිනං පාවකං කණ්‌හවත්‌තනිං
දහරෝති නාවමඤ්ඤෙය්‍ය න නං පරිභවේ නරෝ.

බොහෝ දේ පුළුස්සල දාන ගිනිදැල් තියෙන, ගින්නෙන් පිච්චිලා ගිය කළු පාට මග තියෙන ගින්දරට ළදරුය කියල අවමන් කරන්නෙ නෑ. කෙනෙක් ඒකට පරිභව කරන්නෙත් නෑ.

ලද්‌ධා හි සෝ උපාදානං මහා හුත්‌වාන පාවකෝ
සෝ ආසජ්‌ජ ඩසේ බාලං නරං නාරිඤ්‌ච ඒකදා
තස්‌මා තං පරිවජ්‌ජෙය්‍ය රක්‌ඛං ජීවිතමත්‌තනෝ.

ඒ ගින්දර ඇවිලෙන්න කරුණු යෙදුනාම, විශාල ලෙස පැතිරෙනවා. පැතිරිලා සමහර විට ඒ ගින්න වැඩිකරපු ඒ මෝඩ පුරුෂයාව හෝ ස්ත්‍රියව ඩැහැගන්නවා. ඒ නිසා තමන්ව රැකගන්න ඕන කෙනා ගින්දරත් එක්ක හැප්පෙන්න යන්නෙ නෑ.

වනං යදග්‌ගි ඩහති පාවකෝ කණ්‌හවත්‌තනී
ජායන්‌ති තත්‌ථ පාරෝහා අහෝරත්‌තානමච්‌චයේ.

ගින්නෙන් පිච්චිලා ගියාම කළු පාට මග හැදෙන ඒ ගින්දර වනාන්තර පවා පුච්චල දානවා. දිවා රෑ ගෙවිල යනකොට ඒ ගින්නෙන් ගිනි පුපුරු හැදෙනවා.

යං ච ඛෝ සීලසම්‌පන්‌නෝ භික්‌ඛු ඩහති තේජසා
න තස්‌ස පුත්‌තා පසවෝ දායාදා වින්‌දරේ ධනං
අනපච්‌චා අදායාදා තාලාවත්‌ථු භවන්‌ති තේ.

යම් සිල්වත් භික්‍ෂුවක් තමන්ගේ ගුණදහම් තේජසින් යමක් පුච්චල දැම්මොත් ඊට පස්සේ ඔහුට දරුවො ඇතිවෙන්නෙ නෑ. හරකබාන හරියන්නෙ නෑ. දායාදය හැටියට වස්තුව ලැබෙන්නෙ නෑ. අන්තිමේදී කිසි දේපල වස්තුවක් නැතුව මුදුන් කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙනවා.

තස්‌මා හි පණ්‌ඩිතෝ පෝසෝ සම්‌පස්‌සං අත්‌ථමත්‌තනෝ
භුජං‌ගමං පාවකඤ්‌ච ඛත්‌තියඤ්‌ච යසස්‌සිනං
භික්‌ඛුං ච සීලසම්‌පන්‌නං සම්‌මදේව සමාචරේති.

ඒ නිසා නුවණ තියෙන කෙනා තමන්ගේම යහපත ගැන හිතනවා නම්, සර්පයාවත්, ගින්දරත්, කීර්තිමත් රාජවංශික කුමාරයාවත්, සිල්වත් භික්‍ෂුවත් ඉතා යහපත් විදිහට ඇසුරු කරනව.”

ඒවං වුත්තේ රාජා පසේනදි කෝසලෝ භගවන්‌තං ඒතදවෝච. අභික්‌කන්‌තං භන්තේ, අභික්‌කන්‌තං භන්තේ, සෙය්‍යථාපි භන්තේ නික්‌කුජ්‌ජිතං වා උක්‌කුජ්‌ජෙය්‍ය, පටිච්‌ඡන්‌නං වා විවරෙය්‍ය, මූළ්‌හස්‌ස වා මග්‌ගං ආචික්ඛෙය්‍ය, අන්‌ධකාරේ වා තේලපජ්‌ජෝතං ධාරෙය්‍ය, චක්‌ඛුමන්‌තෝ රූපානි දක්‌ඛින්‌තීති. ඒවමේවං භගවතා අනේකපරියායේන ධම්‌මෝ පකාසිතෝ. ඒසාහං භන්තේ භගවන්‌තං සරණං ගච්‌ඡාමි ධම්‌මඤ්‌ච භික්‌ඛුසංඝඤ්‌ච. උපාසකං මං භන්තේ භගවා ධාරේතු අජ්‌ජතග්‌ගේ පාණුපේතං සරණං ගතන්‌ති.

මේ විදිහට වදාළාම, පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඉතා මනහරයි! ස්වාමීනී, ඉතා මනහරයි! ස්වාමීනි, යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු කළා වගෙයි. වැහිලා තිබිච්ච දෙයක් ඇරල පෙන්නුවා වගෙයි. මං මුළා වූ කෙනෙකුට හරි මඟ කියා දුන්නා වගේ. ඇස් ඇති උදවියට රූප දකින්නට අන්ධකාරයේ තෙල් පහන් දැරුවා වගේ. ඒ විදිහටම භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේවත්, ශ්‍රී සද්ධර්මයත්, භික්‍ෂුසංඝයාත් සරණ යනවා. ස්වාමීනි, මම අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M