සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.3.10. නානාතිත්ථියසාවක සුත්තං

2.3.10. නොයෙක් අන්‍යාගමික ශ්‍රාවක වූ දිව්‍යපුත්‍රයන්, බුදු සමිඳුන් වෙත පැමිණ පැවසූ කරුණු ඇතුළත් දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. අථ ඛෝ සම්‌බහුලා නානාතිත්‌ථියසාවකා දේවපුත්තා අසමෝ ච සහලී ච නිංකෝ ච ආකෝටකෝ ච වේටම්බරී ච මාණවගාමියෝ ච අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කේවලකප්පං වේළුවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං අට්‌ඨංසු. ඒකමන්තං ඨිතෝ ඛෝ අසමෝ දේවපුත්තෝ පූරණංකස්‌සපං ආරබ්‌භ භගවතෝ සන්තිකේ ඉමං ගාථං අභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ. එදා නොයෙක් අන්‍යාගමික ශ්‍රාවක වූ දිව්‍යපුත්‍රයන් වන අසමද, සහලීද, නිංකද, අකෝටක ද, වේටම්බරීද, මානවගාමියද, රැය පහන් වන වෙලාවේ මුළු මහත් වේළුවනයම බබුළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් අසම දිව්‍යපුත්‍රයා පූරණකස්සප මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

ඉධ ඡින්‌දිතමාරිතේ හතජානීසු කස්‌සපෝ
පාපං න සමනුපස්‌සති පුඤ්‌ඤං වා පන අත්‌තනෝ
ස වේ විස්‌සාසමාචික්‌ඛි සත්‌ථා අරහති මානනන්‌ති.

“පූරණකස්සප ශාස්තෘවරයා, අතපය සිඳීම ගැන, සතුන් මැරීම ගැන, සතුන්ට පීඩා කිරීම ගැන, ධන හානි ගැන පවක් හරි, පිනක් හරි වෙනවා කියල දකින්නෙ නෑ. ඇත්තෙන්ම ඔහුගේ අදහස විශ්වාස කටයුතු එකක්. ඒ නිසා ඔහුත් ගරු බුහුමන් ලබන්න සුදුසුයි.”

අථ ඛෝ සහලී දේවපුත්තෝ මක්‌ඛලිං ගෝසාලං ආරබ්‌භ භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එතකොට සහලී දිව්‍යපුත්‍රයා මක්ඛලීගෝසාල මුල් කරගෙන, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

තපෝජිගුච්‌ඡාය සුසංවුතත්‌තෝ වාචං පහාය කලහං ජනේන
ස මෝසවජ්‌ජා විරතෝ සච්‌චවාදී නහනූන තාදී පකරෝති පාපන්‌ති.

“ඔහු තපසින් යුක්තයි. පව පිළිකුල් කරනවා. ජනයා සමඟ කෝළාහල වචන කියන්නෙ නෑ. බොරුවෙන් වැළකිලා ඉන්නෙ. සත්‍ය කතා කරනවා. ඇත්ත වශයෙන්ම අකම්පිත ගුණ ඇති ඔහු පව් කරන්නේ නෑ.”

අථ ඛෝ නිංකෝ දේවපුත්තෝ නිගණ්‌ඨං නාතපුත්‌තං ආරබ්‌භ භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එතකොට නිංක දිව්‍යපුත්‍රයා නිගණ්ඨ නාතපුත්ත මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

ජේගුච්‌ඡි නිපකෝ භික්‌ඛු චාතුයාමසුසංවුතෝ
දිට්‌ඨං සුතඤ්‌ච ආචික්‌ඛං නහනූන කිබ්‌බිසී සියාති.

“ඔහු පව පිළිකුල් කරනවා. නුවණැති කෙනෙක්. පිඬුසිඟා යැපෙන කෙනෙක්. චතුයාම සංවරයෙන් සංවර වෙච්ච කෙනෙක්. දුටු දේ, ඇසූ දේ විතරක් කියන කෙනා ඇත්ත වශයෙන්ම පව් කරන්නෙ නෑ.”

අථ ඛෝ ආකෝටකෝ දේවපුත්තෝ නානාතිත්‌ථියේ ආරබ්‌භ භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එතකොට අකෝටක දිව්‍යපුත්‍රයා නොයෙක් ආගම්කාරයින් අරභයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

පකුධකෝ කාතියානෝ නිගණ්‌ඨා යේ චාපිමේ මක්‌ඛලිපූරණාසේ
ගණස්‌ස සත්‌ථාරෝ සාමඤ්‌ඤප්‌පත්‌තා නහනූන තේ සප්‌පුරිසේහි දූරේති.

“පකුධකච්චායන, නිගණ්ඨ නාතපුත්‍ර, ඒ වගේම මක්ඛලීගෝසාල, පූරණ කස්සපත්, පිරිස්වලට නායකවරුන් වූ අය. පැවිදි ජීවිතේ ඵල නෙලූ අය. ඇත්ත වශයෙන්ම ඔවුන් සත්පුරුෂයන්ට දුර නෑ.”

අථ ඛෝ වේටම්බරී දේවපුත්තෝ ආකෝටකං දේවපුත්තං ගාථාය පච්‌චභාසි.

එතකොට වේටම්බරී දිව්‍යපුත්‍රයා ආකෝටක දිව්‍යපුත්‍රයාට ගාථාවකින් පිළිතුරු දුන්නා.

සහාචරිතේන ඡවෝ සිගාලෝ
න කොත්‌ථුකෝ සීහසමෝ කදාචි
නග්‌ගෝ මුසාවාදී ගණස්‌ස සත්‌ථා
සං‌කස්‌සරාචාරෝ න සතං සරික්‌ඛෝති.

“කොත්ථුක කියල පහත් පෙළේ හිවලෙක් ඉන්නවා. මේකා සිංහයෙක් හා සමාන වෙන්නෙ නෑ. ඒ වගේ ඔය හෙලුවැලි තවුසන්, බොරු කියන තවුසන්, පිරිසට ශාස්තෘවරයෙක් හැටියට හිටියත් ඒ උදවියගේ සැක කටයුතු මහණකම බුද්ධාදී සත්පුරුෂයින්ට සමාන වෙන්නේ නෑ.”

අථ ඛෝ මාරෝ පාපිමා වේටම්බරිං දේවපුත්තං අන්‌වාවිසිත්‌වා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

ඒ මොහොතේ පවිටු මාරයා වේටම්බරී දිව්‍යපුත්‍රයාට ආවේශ වුනා. භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

තපෝ ජිගුච්‌ඡාය ආයුත්‌තා පාලයං පවිවේකියං
රූපේ ච යේ නිවිට්‌ඨාසේ දේවලෝකාභිනන්‌දිනෝ
තේ වේ සම්‌මානුසාසන්‌ති පරලෝකාය මාතියාති.

“තපසත්, පිළිකුල් බව පුරුදු කිරීමත්, විවේකයත් තියෙන උදවිය රූපයෙහි පිහිටලා දිව්‍ය ලෝක පතනවා නම්, ඔවුන් පරලොව උපතක් පිණිස හැබෑවටම අනුශාසනා කරන අය.”

අථ ඛෝ භගවා මාරෝ අයං පාපිමා ඉති විදිත්‌වා මාරං පාපිමන්‌තං ගාථාය පච්‌චභාසි.

භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්නේ පාපී මාරයා බව දැනගෙන, පවිටු මාරයාට ගාථාවකින් පිළිතුරු දී වදාළා.

යේ කේචි රූපා ඉධ වා හුරං වා
යේ අන්‌තලික්‌ඛස්‌මිං පභාසවණ්‌ණා
සබ්‌බේව තේ තේ නමුචිප්‌පසත්‌ථා
ආමිසංව මච්‌ඡානං වධාය ඛිත්‌තාති.

“මෙලොව හරි, පරලොව හරි, අහසේ හරි, ලස්සන පාට තියෙන රූප කොච්චර තිබුණත් මාරය, ඒ රූප ඔක්කොම නුඹේ ප්‍රශංසාවට විතරයි ලක්වෙන්නෙ. ඒක හරියට මසුන් මරන්න අටවපු ඇමක් වගේ.”

අථ ඛෝ මාණවගාමියෝ දේවපුත්තෝ භගවන්‌තං ආරබ්‌භ භගවතෝ සන්‌තිකේ ඉමා ගාථායෝ අභාසි.

එතකොට මානවගාමිය දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙන, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.

විපුලෝ රාජගහීයානං ගිරි සෙට්‌ඨෝ පවුච්‌චති
සේතෝ හිමවතං සෙට්‌ඨෝ ආදිච්‌චෝ අඝගාමිනං.

“රජගහ නුවර පර්වතයන් අතර වේපුල්ල පර්වතය අග්‍රයි. හිමාල පර්වත අතර කයිලාස පර්වතය අග්‍රයි. අහසේ යන අය අතර සූර්යයා අග්‍රයි.

සමුද්‌දෝ උදධිනං සෙට්‌ඨෝ නක්‌ඛත්‌තානඤ්‌ච චන්‌දිමා
සදේවකස්‌ස ලෝකස්‌ස බුද්‌ධෝ අග්‌ගෝ පවුච්‌චතීති.

ජලාශයන් අතර මහා සයුර අග්‍රයි. නැකැත් තරු අතර චන්‍ද්‍රයා අග්‍රයි. ඒ වගේ දෙවියන් සහිත ලෝකයා අතර බුදුරජාණන් වහන්සේ අග්‍රයි.”

සාදු! සාදු!! සාදු!!!

මේ සූත්‍රයේ සඳහන් වන කරුණු පැහැදිලිව තේරුම් ගත යුතුය. මේ දෙවිවරු මිනිස් ලෝකයේදී ඒ අන්‍යාගමිකයන්ගේ ශ්‍රාවකයින්ව සිට, ඒ මිත්‍යා දෘෂ්ටි ආගම් අනුගමනය කොට දෙව්ලොව ඉපදුනා නොවෙයි. දෙව්ලොව ඉපදීමෙන් පසුව ඔවුන් මතවාද වශයෙන් විවිධ අන්‍යාගමිකයන්ගේ මතවලට පක්‍ෂව සිටි ආකාරයයි මෙයින් පෙනෙන්නේ.

නානාතිත්‌ථියවග්‌ගෝ තතියෝ.

තුන්වෙනි නානා තිත්ථිය වර්ගය අවසන් විය.

දේවපුත්තසංයුත්‌තං සමත්‌තං.

දේවපුත්ත සංයුත්තය අවසන් විය.

තත්‍රැද්‌දානං –

සිවෝ ඛේමෝ ච සේරී ච ඝටී ජන්‌තු ච රෝහිතෝ
නන්‌දෝ නන්‌දිවිසාලෝ ච සුසීමෝ නානාතිත්‌ථියේන තේ දසාති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M