සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.1.1. පඨම කස්සප සූත්‍රය

2.1.1. කස්සප දිව්‍යපුත්‍රයාගේ අදහස අනුමත කොට වදාළ පළමු දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. අථ ඛෝ කස්‌සපෝ දේවපුත්‌තෝ අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණෝ කේවලකප්‌පං ජේතවනං ඕභාසෙත්‌වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්‌තං අට්‌ඨාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා කස්සප කියන දිව්‍යපුත්‍රයා රැය පහන් වන වෙලාවේ මුළු මහත් ජේතවනයම ආලෝකමත් කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා.

ඒකමන්‌තං ඨිතෝ ඛෝ කස්‌සපෝ දේවපුත්‌තෝ භගවන්‌තං ඒතදවෝච. “භික්‌ඛුං භගවා පකාසේසි, නෝ ච භික්‌ඛුනෝ අනුසාසනෙන්‌ති.”

පැත්තකින් හිටගත්ත කස්සප දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම පැවසුවා. “භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුව සමඟ කතා කළ සේක් තමයි. නමුත් භික්‍ෂුවට අනුශාසනා නොකළ සේක.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

තේන හි කස්‌සප තඤ්‌ඤේවෙත්‌ථ පටිභාතූති.

“එහෙනම් කස්සප, ඔබටම ඔය කරුණ වැටහේවා!”

(කස්සප දේවපුත්තෝ);

(කස්සප දිව්‍යපුත්‍රයා) :

සුභාසිතස්‌ස සික්‌ඛේථ සමණූපාසනස්‌ස ච
ඒකාසනස්‌ස ච රහෝ චිත්‌තවූපසමස්‌ස චාති.

“යහපත් වචන පැවසීමට හික්මෙන්න ඕන. ශ්‍රමණයන්ට ගැලපෙන ජීවිතයක් ගෙවන්න ඕන. හුදෙකලාවේ තනියම ඉන්න ඕන. සිත සංසිඳවා ගන්න ඕන.”

ඉදමවෝච කස්‌සපෝ දේවපුත්‌තෝ. සමනුඤ්‌ඤෝ සත්‌ථා අහෝසි. අථ ඛෝ කස්‌සපෝ දේවපුත්‌තෝ සමනුඤ්‌ඤෝ මේ සත්‌ථාති භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා තත්‌ථේවන්‌තරධායීති.

කස්සප දිව්‍යපුත්‍රයා ඔය කරුණු පැවසුවා. ශාස්තෘන් වහන්සේ ඒ අදහස අනුමත කළා. එතකොට කස්සප දිව්‍යපුත්‍රයා ‘ශාස්තෘන් වහන්සේ මගේ අදහස අනුමත කළා’ කියල භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, ප්‍රදක්ෂිණා කරල එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M