සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

11.2.3. මහාලී සත්තවතපද සුත්තං

11.2.3. උතුම් ව්‍රත හත ගැන මහාලී ලිච්ඡවියාට වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා වේසාලියං විහරති මහාවනේ කූටාගාරසාලායං. අථ ඛෝ මහාලි ලිච්‌ඡවි යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ මහාලි ලිච්‌ඡවි භගවන්‌තං ඒතදවෝච. දිට්‌ඨෝ වෝ භන්තේ සක්කෝ දේවානමින්‌දෝති? දිට්‌ඨෝ මේ මහාලි සක්කෝ දේවානමින්‌දෝති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාවේ. එදා මහාලි කියන ලිච්ඡවි වංශිකයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන මහාලි ලිච්ඡවි වංශිකයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

“ස්වාමීනි, ඔබවහන්සේ ශක්‍ර දෙවියන්ව දැකලා තියෙනවාද?”

“ඔව්! පින්වත් මහාලි. මං ශක්‍ර දෙවියන්ව දැකලා තියෙනවා.”

සෝ හි නූන භන්තේ සක්‌කපතිරූපකෝ භවිස්‌සති. දුද්‌දසෝ හි භන්තේ සක්කෝ දේවානමින්‌දෝති.

“ස්වාමීනි, එහෙනම් ඔය පුද්ගලයා ශක්‍රයා වගේ වෙන කෙනෙක් වෙන්න ඇති. ස්වාමීනි, ශක්‍ර දෙවියන් දකින එක අමාරු දෙයක් නේද?”

සක්‌කඤ්‌චාහං මහාලි පජානාමි, සක්‌කකරණේ ච ධම්මේ. යේසං ධම්‌මානං සමාදින්‌නත්‌තා සක්කෝ සක්‌කත්‌තං අජ්‌ඣගා, තඤ්‌ච පජානාමි.

“පින්වත් මහාලි, මම ශක්‍ර දෙවියන්වත් දන්නවා. ශක්‍රයා බවට පත්වෙන්න ඕන කරන දේවලුත් දන්නවා. යම් දෙයක් සමාදන් වුනාම ශක්‍රයාට ශක්‍ර පදවි ලැබෙනවා නම්, ඒ දේ ගැනත් දන්නවා.

සක්කෝ මහාලි දේවානමින්‌දෝ පුබ්‌බේ මනුස්‌සභූතෝ සමානෝ මඝෝ නාම මාණවෝ අහෝසි. තස්‌මා මඝවාති වුච්‌චති. සක්කෝ මහාලි දේවානමින්‌දෝ පුබ්‌බේ මනුස්‌සභූතෝ සමානෝ පුරේ පුරේ දානං අදාසි. තස්‌මා පුරින්‌දදෝති වුච්‌චති. සක්කෝ මහාලි දේවානමින්‌දෝ පුබ්‌බේ මනුස්‌සභූතෝ සමානෝ සක්‌කච්‌චං දානං අදාසි. තස්‌මා සක්කෝති වුච්‌චති. සක්කෝ මහාලි දේවානමින්‌දෝ පුබ්‌බේ මනුස්‌සභූතෝ සමානෝ ආවසථං අදාසි, තස්‌මා වාසවෝති වුච්‌චති. සක්කෝ මහාලි දේවානමින්‌දෝ සහස්‌සම්‌පි අත්‌ථානං මුහුත්‌තේන චින්‌තේති. තස්‌මා සහස්‌සක්ඛෝති වුච්‌චති. සක්‌කස්‌ස මහාලි දේවානමින්දස්ස සුජා නාම අසුරකඤ්‌ඤා පජාපතී. තස්‌මා සුජම්‌පතීති වුච්‌චති. සක්කෝ මහාලි දේවානමින්‌දෝ දේවානං තාවතිංසානං ඉස්‌සරියාධිපච්‌චං රජ්‌ජං කාරේති. තස්‌මා දේවානමින්‌දෝති වුච්‌චති.

සක්‌කස්‌ස මහාලි දේවානමින්දස්ස පුබ්‌බේ මනුස්‌සභූතස්‌ස සත්‌ත වතපදානි සමත්‌තානි සමාදින්‌නානි අහේසුං, යේසං සමාදින්‌නත්‌තා සක්කෝ සක්‌කත්‌තං අජ්‌ඣගා.

පින්වත් මහාලි, ඔය ශක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ලෝකෙ ඉන්නකොට ඔහුගේ නම ‘මඝ’. ඒ නිසයි ශක්‍ර දෙවියන්ට ‘මඝවා’ කියන්නෙ. පින්වත් මහාලි, ඔය ශක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගතකරන කොට හැම තැනදීම මුළින්ම දන් දෙන්නෙ ඔහු තමයි. ඒ නිසයි, ඔහුට ‘පුරින්දද’ කියන්නෙ. පින්වත් මහාලි, ඔය ශක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගත කරන කොට, පිළිවෙළකට සකස් කරලයි දන් දුන්නෙ. ඒ නිසයි ඔහුට ‘ශක්‍රයා’ කියන්නෙ. පින්වත් මහාලි, ඔය ශක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගතකරන කොට වාසස්ථාන දන් දුන්නා. ඒ නිසයි ඔහුට ‘වාසව’ කියල කියන්නෙ. පින්වත් මහාලි, ශක්‍ර දෙවියන්ට එක මොහොතකින් කරුණු දාහක් ගැන හිතන්න පුළුවන්. ඒ නිසයි ‘සහස්ස නෙත්ත’ කියන්නෙ. පින්වත් මහාලි, ශක්‍ර දෙවියන්ට බිරිඳ හැටියට ඉන්නෙ ‘සුජා’ කියන අසුර කන්‍යාව. ඒ නිසයි ‘සුජම්පති’ කියන්නෙ. පින්වත් මහාලි, ඔය ශක්‍ර දෙවියන් තමයි තව්තිසා දෙවියන් අතර සැපසම්පත් වලිනුත්, අධිපති භවයෙනුත් යුක්තව රජ කරන්නෙ. ඒ නිසයි ඔහුට ‘දේවානමින්ද’ කියන්නෙ. පින්වත් මහාලි, ශක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතේ ගෙවන කොට උතුම් ව්‍රත හතක් සමාදන් වෙලා හිටියා. ඒ ව්‍රත සමාදන් වෙලා හිටපු නිසයි ශක්‍ර දෙවියන්ට ශක්‍ර පදවිය ලැබුනේ.

කතමානි සත්‌ත වතපදානි? යාවජීවං මාතාපෙත්‌තිභරෝ අස්‌සං. යාවජීවං කුලේ ජෙට්‌ඨාපචායී අස්‌සං. යාවජීවං සණ්‌හවාචෝ අස්‌සං. යාවජීවං අපිසුණාවාචෝ අස්‌සං. යාවජීවං විගතමලමච්‌ඡේරේන චේතසා අගාරං අජ්‌ඣාවසෙය්‍යං, මුත්‌තචාගෝ පයතපාණී වොස්‌සග්‌ගරතෝ යාචයෝගෝ දානසංවිභාගරතෝ. යාවජීවං සච්‌චවාචෝ අස්‌සං. යාවජීවං අක්කෝධනෝ අස්‌සං. සචේපි මේ කෝධෝ උප්‌පජ්‌ජෙය්‍ය ඛිප්‌පමේව නං පටිවිනෙය්‍යන්‌ති.

මොනවද ඒ උතුම් ව්‍රත හත? මං දිවි තිබෙන තුරාවට මව්පියන්ට සළකන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරා කුලදෙටුවන් පුදන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරාවට මිහිරි වචන කතාකරන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරාවට කේළාම් නොකියන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරාවට ගිහි ගෙදර වාසය කරන්නෙ මසුරුමල දුරුකරපු සිතින්. දන් දෙන්න හිතාගෙනම අත්හරින කෙනෙක් වෙනවා. දන් දෙන්න හිතාගෙනම දෑත් සෝදාගත්තු කෙනෙක් වෙනවා. දන් දීමටම කැමති කෙනෙක් වෙනවා. අනුන් විසින් යමක් ඉල්ලා ගෙන තමන් ළඟට එනවාට කැමති කෙනෙක් වෙනවා. දන් බෙදන්න කැමති කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කතාකරන කෙනෙක් වෙනවා. මං දිවි තිබෙන තුරාවට ක්‍රෝධ නැතුව ඉන්නවා. මං තුළ ක්‍රෝධයක් ඇතිවුනොත් ඉක්මනින්ම ඒක දුරුකරල දානවා.

සක්‌කස්‌ස මහාලි දේවානමින්දස්ස පුබ්‌බේ මනුස්‌සභූතස්‌ස ඉමානි සත්‌ත වතපදානි සමත්‌තානි සමාදින්‌නානි අහේසුං යේසං සමාදින්‌නත්‌තා සක්කෝ සක්‌කත්‌තං අජ්‌ඣගාති.

පින්වත් මහාලි, ශක්‍ර දෙවියන් ඉස්සර මනුස්ස ජීවිතය ගත කරද්දී සමාදන් වෙලා හිටියේ ඔන්න ඔය ව්‍රත හතයි. ඔය ව්‍රත හත සමාදන් වෙලා හිටපු නිසා තමයි ශක්‍ර දෙවියන්ට ශක්‍ර පදවිය ලැබුනේ.

(ගාථාවකි)

මාතාපෙත්‌තිභරං ජන්‌තුං කුලේ ජෙට්‌ඨාපචායිනං
සණ්‌හං සඛිලසම්‌භාසං පේසුණෙය්‍යප්‌පහායිනං.
මච්‌ඡේරවිනයේ යුත්‌තං සච්‌චං කෝධාභිභුං නරං
තං වේ දේවා තාවතිංසා ආහු සප්‌පුරිසෝ ඉතීති.

“මව්පියන්ට සළකනවා නම්, කුළ දෙටුවන් පුදනවා නම්, මිහිරි වූ වචන, ප්‍රිය වූ වචන කියනවා නම්, කේළාම් කියන්නෙ නැත්නම්, මසුරුමල දුරු කරනව නම්, සත්‍ය වචන කියනවා නම්, ක්‍රෝධය පාලනය කරනවා නම්, ඔහුට තමයි ‘සත්පුරුෂයා’ කියලා කියන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M