මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්‍ෂූන් වහන්සේලා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්‍ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මෙම කරුණ වදාළා.
“පින්වත් මහණෙනි, මේක ඉස්සර වෙච්ච දෙයක්. අසුරයෝ දෙවියන් ඉස්සරහට (සටනට) ආවා. එතකොට පින්වත් මහණෙනි, ශක්‍ර දේවේන්ද්‍රයා සුවීර කියන දිව්‍යපුත්‍රයාව ඇමතුවා.
‘පුතේ සුවීර, ඔන්න! අසුරයෝ දෙවියන් ඉස්සරහට ඇවිල්ලා. යන්න සුවීර පුතේ, අසුරයන්ව යට කරගෙන ඉස්සරහට යන්න.’
පින්වත් මහණෙනි, එතකොට සුවීර දිව්‍යපුත්‍රයා ‘එහෙමයි, ඒක ඔබගේ යහපත වේවා!’ කියල ශක්‍ර දේවේන්ද්‍රයාට පිළිතුරු දීලා ඒ ගමන ප්‍රමාද කළා.
පින්වත් මහණෙනි, දෙවෙනි වතාවටත් ශක්‍ර දේවේන්ද්‍රයා සුවීර දිව්‍ය පුත්‍රයා අමතා මෙහෙම කිව්වා.
‘පුතේ සුවීර, ඔන්න! අසුරයෝ දෙවියන් ඉස්සරහට ඇවිල්ලා. යන්න සුවීර පුතේ, අසුරයන්ව, යට කරගෙන ඉස්සරහට යන්න.’
පින්වත් මහණෙනි, එතකොට සුවීර දිව්‍ය පුත්‍රයා ‘එහෙමයි, ඒක ඔබගේ යහපත වේවා!’ කියල ශක්‍ර දේවේන්ද්‍රයාට පිළිතුරු දීලා දෙවන වතාවටත් ගමන ප්‍රමාද කළා.
පින්වත් මහණෙනි, තුන්වෙනි වතාවටත් ශක්‍ර දේවේන්ද්‍රයා සුවීර දිව්‍ය පුත්‍රයා අමතා මෙහෙම කිව්වා.
‘පුතේ සුවීර, ඔන්න! අසුරයෝ දෙවියන් ඉස්සරහට ඇවිල්ලා. යන්න සුවීර පුතේ, අසුරයන්ව යට කරගෙන ඉස්සරහට යන්න.’
පින්වත් මහණෙනි, එතකොට සුවීර දිව්‍යපුත්‍රයා ‘එහෙමයි, ඒක ඔබගේ යහපත වේවා!’ කියල ශක්‍ර දේවේන්ද්‍රයාට පිළිතුරු දීලා තුන්වෙනි වතාවටත් ගමන ප්‍රමාද කළා.
පින්වත් මහණෙනි, එතකොට, ශක්‍ර දේවේන්ද්‍රයා සුවීර දිව්‍යපුත්‍රයාට ගාථාවකින් මෙහෙම කිව්වා.
‘උත්සාහයකින් නැගීසිටීමක් නැතිව, වීරිය කිරීමක් නැතිව යම්කිසි සැපයක් කරා යන්න පුළුවන්කමක් තියෙනවා නම්, සුවීර, ඔබ එහි යන්න. මාවත් එතනටම කැඳවාගෙන යන්න.’
(සුවීර) :
‘උත්සාහයකින් නැගී සිටීමක් නැතිනම් කම්මැලි වෙලා යනවා. කිසි වැඩක් කරන්නෙ නෑ. ශක්‍ර දේවේන්ද්‍රය, සියලු කාම සම්පත්වලින් සමෘද්ධිමත් තැනකට එබඳු පුද්ගලයෙකුට යන්න පුළුවන් නම්, ඒ තැන තමයි මට ගොඩාක් උතුම්.’
(ශක්‍රයා) :
‘සුවීර උත්සාහ රහිත වූ කම්මැලි තැනැත්තා අතිශයින්ම සැපවත් බවට පත්වෙනවා නම්, එහි යන්න ඔබ. මාවත් එතැනට කැඳවා ගෙන යන්න.’
(සුවීර) :
‘ශ්‍රේෂ්ඨ දෙවිඳුනි, කිසි වැඩකටයුත්තක් නොකිරීමෙන් යම්කිසි සැපයක් විඳගන්න පුළුවන් නම්, ශක්‍රදේවේන්ද්‍රය, ශෝක නැති පීඩා නැති ඒ උතුම් තැන ගැන මට කියනු මැනව.’
(ශක්‍රයා) :
‘වැඩ කටයුත්තක් නොකරන තැනක් තියෙනවා නම්, එතැන කවුරුවත් කිසිම විදිහකින් ජීවත් වෙන තැනත් නම් නොවේ. එහෙමනම් සුවීර, ඒ මාර්ගය තිබෙන්නෙ නිවනටමයි. සුවීර, ඒ මාර්ගය තිබෙන්නෙ නිවනටමයි. සුවීර, ඔබ ඒ නිවනට යන්න. මාවත් කැඳවා ගන්න.’
පින්වත් මහණෙනි, ඔය ශක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේම පුණ්‍ය විපාකයෙන් ජීවත් වෙන කෙනෙක්. තව්තිසා දෙවියන් අතර ඉසුරුමත් බවින් හා අධිපති බවින් රජකරන කෙනෙක්. ඔහු පවා උත්සාහයෙන් නැගීසිටීම ගැනයි ගුණ කියන්නෙ.
පින්වත් මහණෙනි, ඒ උත්සාහයෙන් නැගීසිටීමේ වීරියෙන්ම මේ ශාසනය තුළ ශෝභමාන වෙන්න. ඉතා යහපත් කොට දේශනා කර තිබෙන ධර්මවිනය තුළයි ඔබ පැවිදි වෙලා ඉන්නෙ. ඒ නිසා නොපැමිණි අරහත්වයට පැමිණෙන්න ඕන කියල, අවබෝධ නොකළ ධර්මය අවබෝධ කරගන්න ඕන කියල, සාක්‍ෂාත් නොකළ ඒ අමා නිවන සාක්‍ෂාත් කරගන්න ඕන කියල උත්සාහවත් වෙන්න. ගොඩාක් උත්සාහ කරන්න. ගොඩාක් වීරිය ගන්න.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_11-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M