මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා එක්තරා දෙවියෙක් රැය පහන් වන වෙලාවේ, මුළු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් සිටගත්තා. පැත්තකින් සිටගත්තු ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.
“ගෙයක් ගිනිගනිද්දී, ඒ ගෙදරින් යම් භාජනයක් බැහැරට ගත්තොත්, ඔහුට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඒ ගේ තුළ යමක් ගිනිගන්නවාද, ඒක ඔහුට ප්‍රයෝජනවත් වෙන්නෙ නැහැ.
ඔන්න ඔය විදිහමයි, ජරාවෙනුත්, මරණයෙනුත් ගිනිගත්ත ලෝකය. ඒ නිසා දන් දීමෙන්මයි බැහැර කරන්න ඕන. දෙන ලද දේ මැනවින් බැහැර කරපු දෙයක්මයි.
දීමෙන් ලැබෙන ඵලය සැපයයි. නොදීමෙන් එහෙම ලැබෙන්නෙ නෑ. නොදුන් දේ එක්කො හොරු ගන්නවා. එක්කො ආණ්ඩුව ගන්නවා. එක්කො ගින්නට අහුවෙනවා. එක්කො නැසිල යනවා. අන්තිමේදී, සැපසම්පත් එක්කම ශරීරයත් අත්හැරල දානවා.
මේ කාරණය අවබෝධ කරගන්න ප්‍රඥාවන්ත කෙනා තමාත් කන්න බොන්න ඕන. අනුන්ට දෙන්නත් ඕන. ශක්ති පමණින් දන් දීලා, අනුභව කරලා, නින්දා රහිත වූ ස්වර්ගයේ උපදිනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M