මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියල භික්‍ෂුසංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල භික්‍ෂූන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, ඉස්සර මෙහෙම දෙයක් සිද්ධ වුනා. තව්තිසා දිව්‍යලෝකයේ දෙවි කෙනෙක් හිටියා. එයා දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන හිටියා. දිව්‍යමය වූ පංචකාම ගුණයෙන් සතුටු වෙමින්, ඉඳුරන් පිනවන්න පටන්ගත්තා. ඒ වෙලාවේ ඒ දෙවියා මෙන්න මේ ගාථාව කිව්වා.
‘පිරිවර සම්පත් ඇති තව්තිසා දෙවියන්ගේ දිව්‍ය විමාන තියෙන ලස්සන නන්දන වනෝද්‍යානය කෙනෙක් දකින්නෙ නැත්නම්, ඇත්තෙන්ම ඔහු සැපය මොකක්ද කියල දන්නෙ නෑ.’
පින්වත් මහණෙනි, එතකොට වෙන දෙවි කෙනෙක් අර දෙවියාට ගාථාවෙන් උත්තර දුන්නා.
‘අනේ, අනේ මෝඩයෝ! ඔහේ රහතුන් වහන්සේලාගේ වචන දන්නෙ නෑ නෙවද? හැම සංස්කාරයක්ම අනිත්‍යයි. ඇතිවෙලා, නැතිවෙලා යන ස්වභාවයෙන් යුක්තයි. සංස්කාර ඇතිවෙනවා. නැතිවෙනවා. ඔය ස්වභාවය සංසිඳී යෑමයි හැබෑම සැපය.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M